Monday, April 21, 2025
Home » පාස්කු ප්‍රහාරයට පෙරත් රාජපක්ෂවරු ජනවරම දිනාගෙන තිබුණා

පාස්කු ප්‍රහාරයට පෙරත් රාජපක්ෂවරු ජනවරම දිනාගෙන තිබුණා

by mahesh
September 6, 2023 1:00 am 0 comment

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර රාජපක්ෂවරු ජනවරම දිනාගෙන සිටි බවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ජනවරමක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් ඔවුන්ට නොතිබූ බව හිටපු ඇමැති පාර්ලි‍මේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේදී ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමිනි.

මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා තවදුරටත් මෙසේද පැවසීය.

දකුණේ සිංහල රාජ්‍ය නායකයකු බිහි කිරීමට අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට චෝදනා කරන අසාද් මවුලානා 2017 වසරේදි රුපියල් 6000ක මාසික වැටුපක් ලැබු අයකු වුවද අද වනවිට විශාල ධනපතියකු බවට පත්ව සිටිනවා.

මෙම තැනැත්තාගේ බැංකු වෙත විදෙස් රටවලින් ලක්ෂ හත්සියයක මුදලක් ලැබී තිබෙනවා.

චැනල් 4 නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා. දකුණේ නායකයකුට බලයට ඒම වෙනුවෙන් මෙම පාස්කු ප්‍රහාරය සිදු කර ඇති බව ඒ ඔස්සේ කියනවා. මේ වීඩියෝව එළි දක්වන්නේ සැප්තැම්බර් 11 වැනිදා මානව හිමිකම් සමුළුව පවත්වන්නට දින නියමව තිබියදී. ඒ ආසන්න වකවානුවේදි තමයි මේ නාලිකාව මේ වීඩියෝ එළියට දාන්නේ. 2012, 2014, 2016 මේ වගේ වීඩියෝ එළියට දැම්මා. සුදු කොඩි ඔසවගෙන ආපු අහිංසක ජනතාව ඝාතනය කළා කියලා වීඩියෝ එළියට දාපු චැනල් 4 තමයි මේ වීඩියෝ දාන්නේ. මේ වීඩියෝ එළියට දාපු පුද්ගලයා අසාද් මවුලානා කියන පුද්ගලයා. ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ නිලධාරියෙක් කියලයි කියන්නේ. මේ ප්‍රකාශය කරන පුද්ගලයාට විදේශ රටවලින් ලක්ෂ හත්සියයක මුදල් ඇවිත් තිබෙනවා. ඔහු දෙහිවල ප්‍රදේශයේ නිවෙසක් විකුණා තිබෙනවා ලක්ෂ පන්සියයකට. මොහු වාහනයක් විකුණලා තවත් ලක්ෂ 140 ක් බැංකුවට ඇවිත් තිබෙනවා. රුපියල් හයදාහක් පඩි ගත්ත මවුලානා කියන මේ පුද්ගලයා තමයි කියන්නේ දකුණේ සිංහල නායකයෙක් බලයට ගේන්න මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට.

චැනල් – 04 මාධ්‍ය අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විනාඩි 15 ක වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. එම වීඩියෝව මේ වන විට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කතා බහට ලක්ව තිබෙනවා. දකුණු ලංකාවේ සිංහල රාජ්‍ය නායකයකු බිහි කිරීම සඳහා මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව මෙම වීඩියෝවේ දැක්වෙනවා. ඒ වගේම මෙම පුද්ගලයා ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතා තිබෙනවා.

අසාද් මවුලානා නමැති පුද්ගලයාගේ පෞද්ගලික බැංකු ගිණුමේ 2018 සිට 2020 දක්වා කාලය තුළ විදේශයක සිට රුපියල් ලක්ෂ 700ක් තැන්පත් කර තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT