ඖෂධීය කංසා වගාවට අවශ්‍ය අනුමැතිය ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මඟින් ඉදිරි කාලය තුළදී ප්‍රකාශයට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවසීය.
ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
කංසා පමණක් නොව ඊට වඩා ඖෂධීය ගුණයෙන් යුක්ත ඖෂධ ගණනාවක් ආනයනය කරන අතර ඒවා වාණිජ්‍ය වගාවන් ලෙස ප්‍රවර්ධනය කළ යුතුයි. එසේ නොවුණ හොත් පාරම්පරික වෙදකම නැතිව යා හැකියි.
වසර 2027 වන විට ඉන්දියානු අමුද්‍රව්‍ය එරටින් වෙනත් රටවලට අපනයනය නතර කරන බවට ඉන්දියානු රජය තීරණය කර තිබෙනවා.ඊට පෙර දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය කංසා ඇතුළු ඔසු වගාව රට තුළ සිදු කළ යුතුයි.
ආයුර්වේද සම්බාහකයන් සහ සම්බාහිකාවන් සඳහා “එන්.වී.කිව් ලෙවල් 4” මට්ටමේ පුහුණුවක් දී ආයුර්වේදයේ ලියාපදිංචිය දෙන බවත් වෘත්තීය සම්බාහකයන්ට විදේශීය රැකියා වෙළෙඳපොළක් පවතින බවත් පැවසීය.