ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කෙළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති කාංචන විජේසේකර මහතා මෙසේද පැවසීය.
පනත් කෙටුම්පතට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. විදුලිබල මණ්ඩලයේ 24000ක් සේවකයන්ගේ කාර්යක්ෂමතාවය පිළිබඳව ගැටලු පවතිනවා. අවශ්‍ය තැන්වලදී සේවකයන් අඩු කිරීමට සිදුවනවා.
විදුලි ඉල්ලුම්කරුවන් 36000කට සම්බන්ධතා ගෙවීම ප්‍රමාද වී තිබුණා. ගෙවීම් ප්‍රශ්න ආදිය හේතුවෙන්. මේ වසරේ අගෝස්තු වනවිට එයින් විශාල පිරිසකට විදුලි සම්බන්ධතා ලබා දුන්නා. ඒ වගේම ඉතිරි පිරිසට මෙම වසර ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ගුණාත්මක විදුලිය පිළිබඳ ගැටලු තිබෙනවා. පසුගිය වසර තුනේදීම නඩත්තු කටයුතු සිදු කරන්නට බැරි වුණා. ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදු කරනවා. ඒ සැලසුමට අදාළ පනත නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. මෙම සතිය අවසානය වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් මේ සඳහා යහපත් පිළිතුරක් අපේක්ෂා කරනවා. නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු පසු ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර ලබන මාසයේදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
පසුගිය කාලයේදී අපගේ විදුලි ධාරිතාව අඩුවීමට බලපෑ හේතු ගණනාවක් තිබෙනවා. ගබඩා කිරීමේ ප්‍රශ්නය, නිෂ්පාදනය කිරීමේ ප්‍රශ්නය ආදියත් බලපෑවා. නමුත් රුසියානු යුක්‍රේන යුද තත්ත්වය, රටේ ඇතිවූ ආර්ථික අර්බුදය සමඟ බලපාන ලද තත්ත්වයන් සමඟ අවශ්‍ය ඉන්ධන, ගල් අඟුරු ආදිය ආනයනය සඳහා මුදල් ප්‍රමාණවත් නොවීම, පිරිපහදුව වසා දැමීමට සිදුවීම හේතුවෙන් දැවිතෙල් හා නැප්තා නිෂ්පාදනය අවම වීම ආදි කරුණු ගණනාවක් බලපෑවා. ඒ වගේම කොවිඩ් තත්ත්වයත් බලපෑවා. විදුලිය අලෙවියේදී වසර නවයකින් මිල ගණන් ඉහළ නොදැමීම ආදියත් මීට බලපෑවා.
ඉන්ධන මිල සශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා සඳහන් කළේ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල වැඩිකිරීමේ තීරණය දැනට වසරකට පෙර ගත් තීන්දුවක් බවයි.
ඉන්ධන මිල හදිසියේ සංශෝධනය වීමක් නොවෙයි. ඉන්ධන මිල මාසිකව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් දැනට වසරක සිට තමයි කටයුතු කරන්නේ. වසරක සිට කටයුතු කිරීමේදී පසුගිය නොවැම්බර් වලදියි ඩීසල් මිල සංශෝධනය වුණේ. මාස නවයක කාලයක් ඩීසල් අපි එකම මිල ගණන් යටතේ පවත්වාගෙන ගිහින් තිබෙනවා. පසුගිය වසරේ නොවැම්බර් සිට සැප්තැම්බර් දක්වා ඩීසල් මිල රුපියල් 124කින් අඩුකර තිබෙනවා.