– 10 වසරෙදි ඇස් පෙනීම අහිමි වෙලා
– අම්මා කියවන ප්‍රශ්නවලට මම දෙන උත්තර අම්මම ලියනවා
උසස් පෙළ කලා අංශයෙන් මහනුවර දිස්ත්‍රික් පළමු ස්ථානය දෘශ්‍යාබාධිත තත්ත්වයේ පසුවන ගෙලිඔය ශ්‍රී ප්‍රඥාරතන මධ්‍ය මහා විද්‍යාලයේ එච්. ඒ. තිවංක රණබාහු සිසුවා විසින් හිමිකරගෙන තිබේ.
සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය, ජනසන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය යන විෂයයන්වලින් විභාගයට පෙනී සිටි තිවංක A සාමර්ථ්‍යය තුනක් සමඟින් දිවයිනේ 75 වැනි ස්ථාන හිමි කරගෙන ඇත.
තිවංකගේ දෑස් නොපෙනී යන්නේ ඔහු 10 වැනි වසරේ තෙවන වාරයේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටියදීය. තිවංක උපත ලබා මාස තුනේදී ඔහුගේ පියා මෙලොව හැර යන අතර, ඔහුගේ සියලු කටයුතු සිදු වූයේ මව වන නිරෝෂනී සුජීවාගේ උදවුවෙනි.
තිවංක මේ ලැබූ ජයග්‍රහණය ගැනත් තමා අභියෝගවලට මුහුණ දුන් ආකාරයට ගැනත් මෙලෙස විස්තර කළේය.
“අම්මා විෂය කරුණු සහ ප්‍රශ්න කියවන කොට මම අහගෙන ඉන්නවා. ඊට පස්සේ මම ඒවට කියන උත්තර අම්මා ලියනවා. ඇස් දෙක හොඳට පෙනෙමින් තිබිලා එක පාරටම නොපෙනී ගියාම මට සාමාන්‍ය පෙළ විභාගය ලිවීම අභියෝගයක් වුණා. සාමාන්‍ය පෙළ විභාගයේදී ගුරුවරුන් දෙන්නෙක් මට ප්‍රශ්න පත්‍රය කියෙවුවා. ඒක අහලා මම පිළිතුරු දුන්නම තවත් ගුරුවරියක් ඒක ලිවුවා. ඒ විදිහට ලියලා මට A සාමර්ථ්‍යය 04ක්, B සාමර්ථ්‍යය 03ක් සහ C සාමර්ථ්‍යය 03ක් ගත්තා. සිංහල, ඉතිහාසය, බුද්ධාගම සහ සංගීතය විෂයයන්ට A සාමර්ථ්‍යය ගත්තා.
පසුව උසස් පෙළ විභාගයේදී විෂය කරුණු ආවරණය කර ගත්තේ බොහොම අමාරුවෙන්. ඇස්වලට ප්‍රතිකාර ගන්න නිසා පාසල් යෑමට අපහසු වුණා. මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කළ වැඩසටහන්වලින් තමයි විෂය කරුණු ආවරණය කර ගත්තේ. ඒ පන්තිවල දෙන නිබන්ධන අම්මා මට ඇහෙන්න කියෙවුවා. ඊට පස්සෙ මම දෙන පිළිතුරු අම්මා ලිවුවා. ඇත්තටම මාත් එක්ක උසස් පෙළට අම්මත් ලිවුවා කිවුවොත් නිවැරදියි.
අම්මාගේ මහන්සිය අපතේ නොයන ප්‍රතිඵලයක් දෙන්න ඕනෙ කියලා මම හැම වෙලාවෙම හිතුවා. විභාගයට පෙනී හිටියට පස්සෙ A සාමර්ථ්‍යය තුනක් ලැබෙයි කියන විශ්වාසය තිබුණා. ඒත් මහනුවර දිස්ත්‍රික්කයේ පළමු වැනියා වෙන්න ලැබෙයි කියලා හිතුවේ නෑ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විදුදය විනිවිද කථන ග්‍රන්ථ වැඩසටහනෙන් ද මගේ අධ්‍යාපන කටයුතුවලට විශාල සහායක් ලැබුණා.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ආචාර්ය මණ්ඩලයට එක්ව ඉදිරියේ දී මහාචාර්යවරයකු ලෙස කටයුතු කිරීමත්, සංගීත ආචාර්යවරියක වන මවගේ සහාය ද ඇතිව ගායකයකු ලෙස කටයුතු කිරීමත් මගේ අරමුණයි.”
තිවංක කුඩා කල සිටම ගෙලිඔය කරමඩ විහාරස්ථානයේ දහම් පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර, එම විහාරස්ථානයේ විහාරාධිපති, ප්‍රඥාරතන මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ගලහා සිරිසාන්ත හිමි මොහුගේ අධ්‍යාපන සහ ආර්ථික කටයුතු සඳහා දායක වී තිබේ.
පාසලේ විදුහල්පති ඩබ්ලිව්. එම්. කේ. වීරසිංහ, විෂයභාර ගුරුවරුන් වන සනත් කුමාර ඩී. එම්. එම්. සත්සරණි රේණුකා දිසානායක ඇතුළු පාසලේ ආචාර්ය මණ්ඩලයේ ද නොමඳ සහාය තිවංකට ලැබී ඇත. තිවංකගේ මව ඉල්ලා සිටින්නේ තම දරුවාගේ ඉදිරි බලාපොරොත්තු ඉටු කරගැනීමට සියලු දෙනාගේ සහාය දෙන ලෙසයි.