මෙරට ප්‍රසිද්ධ සහල් සමාගමක් වන නිව් රත්න සහල් සමාගමට රසායනික පොහොර ගෙන්වා දෙන බව කියමින් රුපියල් එක්කෝටි හැටලක්ෂයක මුදලක් වංචා කළ සමාගමක අධ්‍යක්ෂකවරයා දැඩි ඇප කොන්දේසි මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (5) නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා විසින් සිදු කළ ඇප ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලකට දැනුම් දෙන ලෙසත් නියම කළේය.
සැකකරු විවෘත අධිකරණයේදී රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවීමත් ඔක්තෝම්බර් මස 10 වන දිනට පෙර ඉතිරි මුදල් ගෙවීමට වූ එඟතාවයත් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරු සම්බන්ධයෙන් කරුණු දැක්වූ අතර, රක්ෂිත බන්ධනාගාරයේ සිටි සැකකරු ස්කයිප් තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
මෙලෙස දැඩි ඇප කොන්දේසි මත මුදාහැරුණේ ඉරේෂා ට්‍රේඩිං පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන හෙට්ටිආරච්චිගේ අසංක අබේවර්ධන නමැති අයෙකි.
පසුගිය ජුනි මාසයේදී මෙම රසායනික පොහොර ගෙන්වා දෙන බව පවසමින් මෙම මුදල් වංචාව සිදු කර ඇති බවත් එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දැක්වීය.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර, ඉදිරි දින විමර්ශන ප්‍රගතිය අධිකරණයට දන්වා සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.