Monday, April 21, 2025
Home » චැනල් හතරට යළිත් වයර් මාරු වී තිබේ

චැනල් හතරට යළිත් වයර් මාරු වී තිබේ

by mahesh
September 6, 2023 1:00 am 0 comment

චැනල් හතර කියන්නේ නයි අරින්නටම හදපු නාළිකාවක් බව අප අවබෝධ කර ගත්තේ, ශ්‍රී ලංකා යුද හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කළ සමයේය. මේවා සමහර බුල් කෙළින යූ ටියුබ් නාළිකා වැන්න. බ්‍රිතාන්‍යයේ ඇති, පාඩුවට දුවන මෙම නාළිකාව ආදායම් ලබන්නේ කාගේ හෝ කුණු කොන්ත්‍රාත් භාර ගෙන ඒවා ප්‍රචාරය කරමිනි.

ඊයේ ද ඒ වර්ගයේ වීඩියෝවක් චැනල් හතර නාළිකාව ප්‍රචාරය කළේය. මෙම වීඩියෝව පිළිබඳව මුළු කතාවම පළමුව පාඨකයා දැනගත යුතුය. බෝම්බ ගසා රටක් කා පාළු කළ සහ අහිංසක ජනී ජනයාගේ ජීවිත විනාශ කළ සහරාන් කල්ලිය එයින් නිදහස් කර, තවත් වටයකින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ තළා පෙළා දැමීම මේ වීඩියෝවේ මුඛ්‍ය අරමුණ වී ඇත.

බ්‍රිතාන්‍ය සංචාරකයින් අටදෙනෙකු ඇතුළු පුද්ගලයින් 250කට වැඩි පිරිසකට මරු කැඳ වූ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය අන්තවාදී සැලසුමක් නොව රාජපක්ෂ බල ව්‍යාප්තියේ කොටසක් බව පෙන්වීම මෙම වීඩියෝවේ ප්‍රමුඛ අරමුණය. සහරාන් සහ ඔහුගේ සහචර කල්ලිය පිළිබඳව අනේක විධ තොරතුරු එළියට පැමිණ ඇති නිමේෂයක, කොහේදෝ යන අයෙක්ගේ ප්‍රකාශයක් මත මුළුමණින්ම පදනම් වෙමින්, චැනල් හතර නාළිකාව කීමට උත්සාහ කරන්නේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත් කිරීමේ බල ව්‍යාපෘතියේ කොටසක් ලෙස ‘සහරාන්ගේ මරාගෙන මැරෙන ක්‍රියාදාමය’ දියත් වූ බවය.

චැනල් හතර නාළිකාව මීට පෙර වතාවේ වීඩියෝ දෙකක් නිපදවීය. මේවා මාධ්‍ය ගවේෂණ බඳු විශේෂ අනාවරණ නොව, හිඟන පන්නයේ ටික් ටොක් වැනි ‘ළදරු වීඩියෝ’වේ. පළමුව මොවුන් ශ්‍රී ලංකා කිලින් ගීල්ඩ්ස් කියා ද ඊළඟට නෝ ෆයර් සෝන් කියා ද වීඩියෝ නිපදවා, යුද හමුදාව වසර ගණනාවක් පුරා උතුරේ සහ නැඟෙනහිර, යුද අපරාධ සහ ස්ත්‍රී දූෂණ සිදු කළ බවට ලෝකයා හමුවේ ප්‍රකාශ කළේය. ඒ පිළිබඳව උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම විභාග කරමින් කියා සිටියේ, මේ පිළිබඳව සාක්ෂි සැපයීම සඳහා අදාළ නාළිකාවට හෝ එම වැඩසටහන් නිෂ්පාදක ‘සෙට් එකට’ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසය. ඒ වර්ගයේ විධිමත් පරීක්ෂණයක්, ස්වාධීන කොමිසමක් ලබාදුන්න ද ඒ පාදඩ වීඩියෝ නිපද වූ ‘කැලම් මැක්රේ’ හෝ වෙනත් අයෙක් ඒ සඳහා පැමිණියේ නැත.

‘පිනට යමක්’ කියා, හිඟමන් ඉල්ලනවාට වඩා, සර්කස් පෙන්වා, ගිටාරයක් වාදනය කර, යමක් ඉල්ලා සිටී නම්, එතැන හිඟමනට එහා දෙයක් තිබේ. හැමෝම යදින්නේ පිනට වුව ද, මෙතැන වෙනසක් තිබේ. මේ වෙනසට කියන්නේ ‘භාවයන් කුළුගන්වනවා’ කියාය. අසරණයා යන චිත්‍රය දැන් ඇසට හුරු වී ඇති ප්‍රමාණය අනුව, ඒ උදෙසා අපේ ‘භාවයන්’ හෙල්ලෙන්නේ නැත. වෙනස් මාර්ගයක් කරා යොමු වූ සැණින් අපගේ ප්‍රතිචාරය ඉඳුරාම වෙනස්ය.

දෙමළ ඩයස්පෝරාව යනු දැන් යුරෝපයේ සිටින ‘නන්නා වූ ගැන්සියකි’. සුමන්තිරන්, ගජේන්ද්‍ර කුමාර් වැනි දෙතුන් දෙනෙකු දෙන ‘ආතල්’ හැරුණු කල, ඔවුන්ට යුරෝපයේ සිටින, පිට්සා විකුණා ගමට සල්ලි යවන කොල්ලාගෙන් ‘යමක් කොල්ල කා ගැනීමට’ නොහැකිය. මේ වන විට වඳ වෙමින් යන ජාතියකට අයත් ‘දෙමළ ඩයස්පෝරාව වූ කලී’ පරණ තාලයටම කප්පම් ගැනීම සඳහා බලාපොරොත්තු වන්නේ නමුදු, ඒ අසරණකමට හැමදාම ‘හිඟමනේ’යා නොහැක. මේ නිසා ඉඳහිට ගිටාර් වාදනයක්, රබන් කරකැවීමක් පමණක් නොව ‘ටියුබ් ලයිට් කන ජාතියේ’ භායනක සෙල්ලම් පවා ඩයස්පෝරාව පෙන්වනු ලබන්නේය.

චැනල් හතර වන්නම් යනු ඒ ජාතියේ වැඩ මිසක, සිරාවට ගත යුතු දෙයක් නොවේ. රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, ඊයේ අධිකරණය හමුවේ පෙනී සිට කතෝලික පල්ලියෙ සමහර පාදිලිවරු, තමන්ට කළ චෝදනා සම්බන්ධයෙන්, සත්‍යය හෙළි කළේය. දැන් ලෝගුවේ බර කරට අරගෙන, මේජර් ජෙනරාල් සලේට, තළන්නේ නැතිව, සැමදෙනාම නීතිය ඉදිරියේ සමානය යන න්‍යායෙන්, මේ සඳහා මුහුණ දිය යුතුය. සලේගේ පැමිණිල්ලට දක්වන ලද එක් යටි උගුල් ප්‍රතිචාරයක් ලෙස, චැනල් හතර මෙවර වීඩියෝව සඳහන් කළ හැකිය.

මේ වැඩසටහනේ නම Sri Lanka’s Easter Bombings – Dispatches ය. රට අස්ථාවර කර රාජපක්ෂලාට නැවත බලයට ඒම සඳහා වූ කුමන්ත්‍රණයක් පිළිබඳව මෙයින් කියැවෙයි. ඔය විකාරයේ සඳහන් වන්නේ, සුරේෂ් සලේ සහ සහරාන්ගේ බෝම්බ ගැන්සිය, 2018 වසරේ දිනක සාකච්ඡාවක් සංවිධානය කළ බවය.

මුහම්මදු මිල්ලාර් මුහම්මදු හන්සීර් හෙවත් අසාද් හන්සීර් මවුලානා නම් අයකුගේ වාචාල කතාවක් මේ මහා හෙළිදරව්ව සතු එකම අවියය. ටවුන්හෝල් එක අසලට ඇවිත් මාර්ග අංක 150 බසයේ නැග්ග විට, ගමනාන්තය වන්නේ අංගොඩය. මානසික රෝහලට ගිය විට, හඳට ගිය ඈයෝ පහ හයක් ද එක්සත් ජනපද ජනාධිපතිවරු දෙතුන් දෙනෙක් ද සී. අයි. ඒ සංවිධානය පිළිබඳව හෙළි කරන දුසිමක් පමණ ද මුණගැසිය හැකිය. එහෙම එකෙක් අල්ලාගෙන පාස්කු ප්‍රහාරය සඳහා ‘පය තදින් තබන්නේ’ මේ මොහොතේ රටේ ස්ථාවරව ඇති ජාතික සමගිය නම් ‘අත්ත බිඳ දමන්නටය’.

සලේ සහ බෝම්බකරුවන් සම්බන්ධයෙන් ‘හීන වමාරන’ එකා, හඳුන්වන්නේ, රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂයේ එවක මාධ්‍ය ප්‍රකාශක ලෙසය.

සුරේෂ් සලේයි තමා අසලට විත් “රාජපක්ෂලාට, ශ්‍රී ලංකාව තුළ අස්ථාවර අනාරක්ෂිත තත්ත්වයක් අවශ්‍යයි, ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම ක්‍රමය ඒක තමයි” යැයි තමාට ප්‍රකාශ කළ බව කියන්නේය.

කාදිනල්ගේ මහ මොළකරු ප්‍රකාශයේ සිට වලි කන්නේ, සහරාන් ‘මරාගෙන මළේ’ රාජපක්ෂලා රජ කරවීම සඳහා බවය. දැන් චැනල් හතර ද ‘නන් දෙඩවීම සඳහා පෙති ලබා දිය යුතු’ එකෙක් සාකච්ඡාවට ගෙන, කීමට සැරසෙන්නේ එයය. මේ සඳහා විධිමත් විද්‍යාත්මක පිළිතුරක් තිබේ. ඒවා එහෙන් මෙහෙන් අල්ලා ගත් සිල්ලර කෑලි නොවේ. ‘මට අරයා කිව්වා’ වගේ බොළඳ ප්‍රකාශ, දෙකේ පන්තියේ වුන්වත් දැන් කියන්නේ නැත. එහෙම නොවන විධිමත් පර්යේෂණ ග්‍රන්ථයක් මහාචාර්ය රොහාන් ගුණරත්න Sri Lanka’s Easter Sunday Massacre: Lessons for the International Community (ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සංහාරය : අන්තර්ජාතික ප්‍රජාවට පාඩම්) නමින් ප්‍රකාශයට පත් කළේය. කතෝලික සභාව ඒ ගැන වගක් නැත. ඒ වුණාට අර ‘හරුප’ වැඩසටහනේ නම්, ප්‍රචාරක අංශය බවට පත්ව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT