Monday, April 21, 2025
Home » අම්පාරේ ඉඩම් ගැටළු වලට කඩිනම් විසඳුම්

අම්පාරේ ඉඩම් ගැටළු වලට කඩිනම් විසඳුම්

by chanaka
September 5, 2023 10:17 am 0 comment

අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු සම්බන්ධ ගැටළු කඩිනමින් විසඳීමට පියවර ගැනේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර ඇති නිවාස ව්‍යාපෘති 18 ට අදාළව නිවාස 623ක නිවාස හිමිකම් ඔප්පු ලබාදීම කඩිනම් කරන ලෙසයි.

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සතු ඉඩම්වල ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස ඉදිකර තිබේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් හිමිකම් ඔප්පු ලබාගැනීමේදී තක්සේරු වටිනාකම වැඩි නිසාවෙන් ඔප්පු ලබාගැනීමට ජනතාව ඉදිරිපත් නොවන බව අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ඩබ්ලියු. ඩී.වීරසිංහ මහතා පැවසීය.

එබැවින් එම ඉඩම් ජාතික නිවාස අධිකාරියට පවරාගෙන හිමිකම් ඔප්පු ලබා දීම සිදු කරන්නැයි ජනතාව ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය. එම ඉඩම්වල අයිතිය ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පැවරීමට පසුගියදා පැවැති අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අනුමැතිය හිමිවූ බවද හෙතෙම සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සතුව පවතින ඉඩම්වල අයිතිය ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පසු හිමිකම් ඔප්පු කඩිනමින් ලබා දීම ගැටළුවක් නොවන බවයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවති ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ සින්නක්කර හිමිකම් ඔප්පු හා නිවාස ණය චෙක්පත් ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගීවෙමිනි.
මෙහිදී ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 51 දෙනෙකුට රුපියල් මිලියන 18.25 ක් වටිනා නිවාස ණය ප්‍රදානය කිරීම සහ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස යෝජනා ක්‍රම 15ක් ආවරණයවන පරිදි ප්‍රතිලාභීන් 110 දෙනෙකුට සින්නක්කර හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙලෙස අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට නිවාස හිමිකම් ඔප්පු ලබාදීම සිදුවූයේ වසර 23ට පසුව වීම විශේෂත්වයකි.

වසර 1999 සිට මේ දක්වා ඉඩම් ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර එම ගැටළු වලට කඩිනමින් විසඳුම් ලබාදීමද මෙහිදී සිදුවිය. එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ වත්මන් රජය සියලු දෙනටෙම හිමිකම් ඔප්පු ලබා දීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවයි. ඒ යටතේ තම අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැනි ආයතන මගින් ක්‍රියාත්මක කර ඇති නිවාස ව්‍යාපෘති වලට අදාළව හිමිකම් ඔප්පු ලබාදීම දැනටමත් ආරම්භ කර ඇති බවයි.

හිමිකම් ඔප්පු ලබාදීමේදී ජනතාව පීඩාවට පත් නොකරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි කේ.ඒ ජානක මහතා සඳහන් කළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සතු ඉඩම් ජාතික නිවාස අධිකාරියට පවරා ගැනීමෙන් පසුව ජනාධිපතිතුමාගේ අත්සනින් නිදහස් දිමනා පත්‍රයක් ලෙස හිමිකම් ඔප්පු ජනතාවට ලබා දීම සිදු කරන බවයි. එහිදී තක්සේරු වටිනාකම වෙනුවට පොදු පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මුදලක් ගෙවීමට ජනතාවට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ , අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන, ඩබ්ලිව්. ඩි .වීරසිංහ, ඒ. එල්. එම් අතාවුල්ලා, එස් .එම් .එස් මුෂාරෆ්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT