Friday, April 18, 2025
Home » ‘බී’ කාණ්ඩයේ උණුසුම වැඩි කරමින් බංග්ලාදේශය ලාහෝරයේදී ඇෆ්ගනිස්තානය පරදවයි

‘බී’ කාණ්ඩයේ උණුසුම වැඩි කරමින් බංග්ලාදේශය ලාහෝරයේදී ඇෆ්ගනිස්තානය පරදවයි

by sachintha
September 4, 2023 6:42 am 0 comment

 

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 89ක ජයක් හිමි කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් විය.

මේ ජය සමඟ ‘බී’ කාණ්ඩය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ශ්‍රී ලංකාව ද එක් ජයක් වාර්තා කර ඇති අතර, දළ ලකුණු වේගය අනුව පළමු ස්ථානයට පත්ව සිටී.

ලාහෝර්යේදී ඊයේ පැවති දිවා රාත්‍රී තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 334ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්තානයට ඕවර 44.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 245ක් පමණි.

පිළිතුරු ඉනිම ඇරඹූ ඇෆ්ගනිස්තාන පිල අසීරු තත්ත්වයකට ඇද දැමූ ශොරිෆුල් ඉස්ලාම් ප්‍රහාරාත්මක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් එක් ලකුණකට පිටියෙන් ඉවත් කළේය. කෙසේ වෙතත් ආරම්භක පිතිකරු ඉබ්‍රහිම් සඩ්රාන් අර්ධ ශතක සබඳතා දෙකක් සමඟින් මුළු ලකුණු සංඛ්‍යාව 131 දක්වා ඉහළට ගෙන ගියද ඇෆ්ගනිස්තාන ඉනිමේ ලකුණු රැස් කිරීමේ වේගය පහළ මට්ටමක පැවතීමෙන් ඉලක්කය අසීරු විය.

රහ්මත් ෂහා (33) සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 78ක් සහ නායක හස්මතුල්ලා සහීඩ් සමඟ තෙවැනි කඩුල්ලට ලකුණු 52ක් එක් කළ ඉබ්‍රහිම් හතරේ පහර 10ක් සහ හයේ පහරක් එල්ල කර ලකුණු 75ක් රැස් කර සිටියදී දැවී ගියේය.

හස්මතුල්ලා පන්දු 60කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 51ක් රැස් කළ අතර, ඔහු 5 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූයේ මුළු ලකුණු 196දීය. රෂීඩ් ඛාන් ලකුණු 24ක් රැස් කළ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව ඉක්මවීමට අවස්ථාවක් නොදුන් බංග්ලාදේශ පන්දු යවන්නෝ අවසන් කඩුලු 5 ලකුණු 33ක් තුළ බිඳ දැමූහ. පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් කඩුලු 4ක් සහ ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 3ක් දවා ගත්හ.

බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ මෙහෙදි හසන් මිරාස් සහ නජ්මුල් හොසේන් ෂැන්ටෝ ශතක වාර්තා කිරීමට සමත් වූහ. පළමු කඩුල්ලට මොහොමඩ් නයීම් (28) සමඟ ලකුණු 60ක් එක් කළ මෙහෙදි හසන් තෙවැනි කඩුල්ලට නජ්මුල් හොසේන් සමඟ එක්ව ලකුණු 194ක සබඳතාවක් නොබිඳුණු ගොඩනැඟීමට සමත් විය.

මුළු ලකුණු 63දී දෙවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි නජ්මුල් සමඟ එක් වූ මෙහෙදි මුළු ලකුණු සංඛ්‍යාව 257 දක්වා ඉදිරියට ගෙන යෑමෙන් අනතුරුව ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය. ඒ වන විට ඔහු ලකුණු 112ක් රැස් කර තිබුණේ පන්දු 119කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟිනි. ඔහු ඊයේ වාර්තා කළේ සිය දෙවැනි එක්දින ශතකය මෙන්ම ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාවයි.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයේදී අර්ධ ශතකයක් (89) වාර්තා කළ නජ්මුල් ඊයේ සිය දෙවැනි එක්දින ශතකය (104) වාර්තා කළ අතර, පන්දු 105කින් ගොඩැනැඟුණු එය හතරේ පහර 9කින් සහ හයේ පහර 2කින් වර්ණවත් විය. නායක ශකිබ් අල් හසන් පන්දු 18කින් නොදැවී ලකුණු 32ක්, මුෂ්ෆිකර් රහීම් පන්දු 15කින් ලකුණු 25ක් ඉනිමට එක් කළහ.

මේ කාණ්ඩයෙන් ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගය පමණක් ඉතිරිව ඇති අතර, එම තරගය හෙට (5) ලාහෝර්හිදීම පැවැත්වේ.

මේ තරගාවලියේ 5 වැනි තරගය අද (4) පැවැත්වෙන්නේ ඉන්දියාව සහ නේපාලය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීය.

බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 334/5 (ඕවර 50)

මෙහෙදි හසන් මිරාස් 112, නජ්මුල් හොසේන් ෂැන්ටෝ 104, ශකීබ් අල් හසන් නොදැවී 32

ඇෆ්ගනිස්තානය සියල්ලන් දැවී ලකුණු 245 (ඕවර 44.3)

ඉබ්‍රහිම් සඩ්රාන් 75, හස්මතුල්ලා සහීඩ් 51, රෂීඩ් ඛාන් 24 (ටස්කින් අහමඩ් 44/4, ශොරිෆුල් ඉස්ලාම් 36/3)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT