හෝමාගම කටුවාන කර්මාන්ත පුරයට යාබද දෙල්ගහවත්ත ප්‍රදේශය හරහා වෙල් යායක් මැදින් ගලා බසින ඇළ වේල්ලක දින පහක පමණ සිට සුදුපැහැති විශාල ප්‍රමාණයේ හඳුනා නොගත් පුලුන් රොදක් වැනි යමක් හට ගැනීමෙන් පාරිසරික හා සෞඛ්‍ය ගැටලු රැසක් මතුව ඇතැයි ජනතාව චෝදනා කරති.
මෙය පසුගියදා ගිනි ගැනීමට ලක් වූ කටුවාන කර්මාන්ත ශාලාව පිහිටා ඇති කර්මාන්ත පුරයෙන් බැහැර කෙරෙන රසායනික දියරයක් ජලය හා මුසු වීමෙන් මෙසේ පුලුන් වලට සමාන රොදක් හටගෙන ඇති බව ගොවි ජනතාව පවසති. ජය වේල්ල දිගේ පෙන සහිත ජලය ගලා බැස දෙල්ගහවත්ත වෙල්යායේ සොරොව්ව අසල පෙන හටගැනීම සිදු වෙයි.
බැලූ බැල්මට පුලුන් රොදකට සමාන වුවද එය කෙඳි සහිත ද්‍රව්‍යයක් බවත් ඒවා සුළඟට ගසාගෙන ගොස් අවට පරිසරයට පුරා පැතිර යන අයුරු දක්නට ලැබේ. මෙය අසාමාන්‍ය සිදුවීමක් බවත් ඒවා සිරුරේ ගෑවුණු විට කැසීමට ලක් වන අතර මෙම සිදුවීම නැරඹීමට පැමිණි පුද්ගලයකු නිවසට ගොස් ආහාර ගැනීමෙන් පසුව වමනය කර ඇති බව ද පැවසේ.
මීට අමතරව මෙම ස්ථානයෙන් සුළඟට බැහැරවන අදාළ ද්‍රව්‍යය ප්‍රදේශයේ පානීය ළිං ජලය හා මුසු වූ හොත් ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍යය සෞඛ්‍ය ගැටලු රැසකට පත්වීමට ඉඩ ඇති බව ගොවි ජනතාව පෙන්වා දෙති.
මෙම ඇළ මාර්ගය හරහා කුඹුරු අක්කර දහසකට පමණ ජලය ගලා බසින බවත් පොල්ගස්ඕවිට කහතුඩුව පාලාගම බණ්ඩාරගම වැනි ප්‍රදේශවල අක්කර සිය ගණනක කිර කොටු කරන ජනතාව අපහසුතාවට පත්වන බවත් පැවසේ. මේ හේතුවෙන් ගොවිතැන් කටයුතු සඳහා ගොවිතැනට බැසීමට ජනතාව බියක් දක්වන අතර වහාම අදාළ අංශ භාර බලධාරීන් පැමිණ මෙය කෙසේ සිදුවන්නේදැයි සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර එතෙක් ගොවිජනතාව කුඹුරු අස්වැද්දීමේ කටයුතුවලින් බැහැර වන බව ද කියා සිටිති.
සිද්ධිය වාර්තා වීමත් සමග උඩුවන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඊයේ (03) එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ අතර මේ සම්බන්ධයෙන් ඔහු හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කළේය.
ඒ අනුව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්රකාශකයකුගෙන් විමසූ විට ඔහු පැවසූවේ කිසියම් ස්ථානයකින් බැහැර කෙරෙන රසායනික දියරයක් ජලය හා මුසු වීමෙන් මෙසේ පැන රොදක් හටගෙන ඇති බවට සැක මතු වන අතර මෙම දියර බැහැර කරන ස්ථානය මුලින්ම හඳුනාගෙන ඊට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
කොට්ටාව – ප්‍රදීප් කුමාර