Home » මිරිහාන අරගලයේදී හමුදා බසයට ගිනි තැබූ සැකකරු 11 තෙක් රිමාන්ඩ්

මිරිහාන අරගලයේදී හමුදා බසයට ගිනි තැබූ සැකකරු 11 තෙක් රිමාන්ඩ්

by sachintha
September 4, 2023 1:03 am 0 comment

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මිරිහාන පෞද්ගලික නිවෙස අසල 2022 වසරේ මාර්තු 31 දා ඇති වූ කලහකාරී සිද්ධිය අතරතුර හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙනිය මහත්මිය නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වසරකුත් මාස පහක් තිස්සේ කළ විමර්ශනවලට අනුව මහියංගනය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අසළ තිබූ යුද හමුදා බස් රථයට ගිනි තැබූ බව කියන 33 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ සැකකරු වෙනුවෙන් කිසිදු නිතිඥවරයකු පෙනී නොසිටීම විශේෂත්වයකි.
තමා බිරියත් සමඟ තාවකාලිකව මාලබේ පදිංචිව සිටි බවත් එදින කළහකාරී සිද්ධිය වූ අවස්ථාවේදී අදාළ ස්ථානයට ගිය බවත් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු අනාවරණය කර තිබේ. සැකකරු එම බස් රථයට ගිනි තැබූ බවට පිළිගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දන්වා සිටියේය.
සිද්ධිය වූ දා තම ඡායාරූප මාධ්‍ය මගින් පළ වූ අවස්ථාවේදී තමා ඇඳ සිටි ඇඳුම් ගිනි තබා පලා ගිය බවටත් සැකකරු පැවසූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටි අතර සැකකරු මහියංගණයේ සිටින බවට ලද තොරතුරක් මත ඉකුත් 1 දා අත්අඩංගුවට ගත් බවත් දන්වා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර එහි කරුණු ලබන 11 දා අධිකරණයට දන්වා සිටින ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙහිදී නියෝග කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT