Home » නන්දලාල් වීරසිංහ ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරුන් 21 අතරට

නන්දලාල් වීරසිංහ ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරුන් 21 අතරට

by sachintha
September 4, 2023 4:58 am 0 comment

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී‍. නන්දලාල් වීරසිංහ මහතා ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතර විසි එක් වැනි ස්ථානයට පත්ව ඇත.

ඒ ජාත්‍යන්තර Globle Finance සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලොව හොඳම මහ බැංකු අධිපතිවරු තේරීමේ සම්මාන 2023 විශ්ලේෂණයකට අනුවය. වසර 1994 සිට අඛණ්ඩව ලෝකයේ මහ බැංකුකරුවන් ශ්‍රේණිගත කිරීමේ වාර්ෂික ක්‍රියාවලියට අනුව මෙවර ලොව හොඳම මහ බැංකු අධිපතිවරයා ලෙස කිරුළ දිනා සිටිනුයේ අසල්වැසි රට වන ඉන්දියාවේ මහ බැංකු අධිපති ශක්තිකාන්ත දාස් මහතායි‍.

ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් “A+”, “A” සහ “A-” ලෙස වර්ගීකරණ තුනකට යටත්ව ප්‍රකාශයට පත් කොට තිබේ.

ඒ අනුව “A+” ශ්‍රේණිගත වෙමින් ඉන්දීය මහ බැංකු අධිපතිවරයා පෙරමුණේ සිටින අතර, එහි දෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තයේ තෝමස්. ජේ. ජෝර්දාන් හා තෙවැනි ස්ථානයට වියට්නාමයේ නයූයෙන් තයි හෝන්ග් මහත්වරු තේරී පත් වී ඇත.

ලොව මහ බැංකු අධිපතිවරුන් අතුරින් “A” ශ්‍රේණිගත කිරීම් ලැබ ඇත්තේ බ්‍රසීලය, ඊශ්‍රායලය, මුරුසිය, නවසීලන්තය, පැරගුවේ, පේරු, තායිවාන් හා උරුගුවේ අධිපතිවරුන් අට දෙනායි.

කොළොම්බියාව, ඩොමිනිකානු ජනරජය, අයර්ලන්තය, ඉන්දුනීසියාව, මෙක්සිකෝව, මොරොක්කෝව, නෝර්වේ, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාවේ අධිපතිවරයා A- ශ්‍රේණිගත කිරීම් දිනා ගෙන තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීම්වලදී සැලකිල්ලට ගෙන ඇත්තේ, රටේ උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදල් ස්ථාවරත්වය, පොලී අනුපාත කළමනාකරණය ආදී ආර්ථික කරුණුය. මෙහිදී “A” සිට “F” දක්වා ‍ ශ්‍රේණින් ලබා දී ඇති අතර, “A” යන්නෙන් විශිෂ්ට කාර්ය සාධනය සහ “F” යන්නෙන් අසාර්ථකත්වය දක්වා තිබේ. මෙවර රටවල් 101ක අධිපතිවරු මේ වර්ගීකරණයට යටත්වී ඇත.

වසර 1987 දී ආරම්භ කොට ඇති “Globle Finance” ලොව පුරා රටවල් 133ක බෙදාහරින අතර, ඉහළ පාඨක පිරිසක් නෙත ගැටෙන, කියවන ප්‍රමුඛ ප්‍රකාශනයකි.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT