Monday, April 21, 2025
Home » ශ්‍රී ලංකාවේ සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ අඛණ්ඩ සහාය

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ අඛණ්ඩ සහාය

by sachintha
September 4, 2023 1:32 am 0 comment

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය නැංවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අඛණ්ඩ සහාය හිමි වන බව එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-Andre’ Franche) මහතා පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයා අතර අරලිහගහ මන්දිරයේදී පසුගියදා (1) පැවති හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ලෝකය ගෝලීය ආර්ථික බසුබෑමකට මුහුණ දී ඇති බවත් මේ ආර්ථික පසුබෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට පමණක් නොව, බොහෝ රටවලට ඉදිරි වසර දෙකක කාලය ඉතා දුෂ්කර වනු ඇති බවත් අනතුරු ඇඟවීය.

මෙහිදී මෙරට ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කළ අගමැතිවරයා අහරින් ස්වයංපෝෂිත වන අතරේ, අපනයන මඟින් විදේශ විනිමය ඉපැයීම් වැඩි කරගැනීම කෙරෙහිද රජයේ දැඩි අවධානය යොමු වී ඇති බවයි.

දශක තුනක ගැටුම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ දුක්ගැනවිලි විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද අගමැතිවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිතයා දැනුම්වත් කළේය. ගැටුම් පැවති සමයේ පවරාගත් උතුරු නැඟෙනහිර ඉඩම්වලින් 95%කට වැඩි ප්‍රමාණයක් යළි ඉඩම් හිමියන්ට පවරා දී ඇති බවත්, බිම් බෝම්බ ඉවත් කළ වගා කළ හැකි ඉඩම් ගොවීන්ට දී ඇති බවත්, එල්ටීටීඊ රැඳවූවන් නිදහස් කළ අතර, ඔවුන් ධීවර ඇතුළු ජීවනෝපාය මාර්ගවලට යොමු කර ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වසර ගණනාවක් පුරා සේවයේ නියුතුව සිටින ශ්‍රී ලාංකිකයන් සංවිධානයට කළ සේවය අගය කරන බව මෙහිදී පැවසූ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-Andre’ Franche) මහතා කැපීපෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය සහ අනෙකුත් ආයතනවල කටයුතු තවත් කඩිනම් කරන ලෙසද අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙතෙක් ශ්‍රී ලංකාවට දුන් සහයෝගය පිළිබඳ ස්තුතිය පළ කළ අගමැතිවරයා නව නේවාසික නියෝජිතවරයා හරහා ඉදිරියටත් සුවිසල් සහයෝගයක් හිමි වනු ඇති බවට විශ්වාසය පළ කළේය. තිරසර සංවර්ධන ඉලක්ක, හරිත ආර්ථිකය, සමාජ සහජීවනය සහ සමාජ ආරක්ෂණය සම්බන්ධ ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන්ද සාකච්ඡාවට ඇතුළත් විය. මේ සාකච්ඡාවට අගමැති ලේකම් අනුර දිසානායක මහතාද සහභාගි වී සිටියේය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT