Home » කැමරන් ඇවිත් ගියේය: බාර්බී එන්න කැමැත්තෙන්

කැමරන් ඇවිත් ගියේය: බාර්බී එන්න කැමැත්තෙන්

by sachintha
September 4, 2023 1:41 am 0 comment

තරාතිරම කුමක් වුවත් මේ රටේ දැරිවියක් ළඟ බාර්බීගේ පින්තූරයක් ඇත්තේය. එක්කෝ පැන්සල් පෙට්ටිය බාර්බීය. නැතිනම් බාර්බී බෑග් එකක් ඇත. මෙහෙම අපි උඩදාගෙන බාර්බීට වහ වැටී සිටිනා විට බාර්බී වහ වැටී ඇත්තේ ශ්‍රී ලංකාවටය. බාර්බී චිත්‍රපටය ආදායම් වාර්තා තබන ලද්දේ, ඔපන්හයිමර් චිත්‍රපටය සමඟ සටනක් ලබා දෙමිනි. ළමා ලෝකය ‘මාර මාර්කට්’ හෙයින් සහ වැඩිහිටියන් ද බාර්බීට පෙම් කළ බැවින්, ඔපන්හයිමර් නම් විද්‍යාව සහ දේශපාලනය කැටිවූ සිනමාපටය පරදා බාර්බී ‘කප් එක’ගත්තාය.

බාර්බීහි ප්‍රධාන නිළිය මාර්ගට් රොබීය. ඇය ලොව ඉහළම ආදායම් ලබන නිළියකි. නිකං ඉන්න වෙලාවක් බලා ගූගල් එකේ මේ නම ටයිප් කළා නම් ‘ඇයට ලෝකයේ ඇති තැන’ හඳුනාගත හැකිය. බාර්බි සිනමාපටය ලෝකය හොල්ලා ඈති හෙයින් මාර්ගට් රොබී ද දැන් ‘මාර’ වී තිබේ. එක්තරා නාළිකාවක් ඇයගෙන් අසන ලද්දේ ඔබ සංචාරය සඳහා යෑමට කැමැති රට කුමක්ද යන්නයි. ඇයගේ පිළිතුර වූයේ ශ්‍රී ලංකාවය.

වෙන කතාවක් වුවමනා නැත. මේ උත්තරය ලෝකය පුරා, දන්න ගේමක් ගසා ප්‍රචාරය කළේ නම්, ලෝකයේ අංක එකේ සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් වන්නේය.

අපට ඇත්තේ ඩොලර් අර්බුදයකි. ගෙවුම් ශේෂයේ ඇති හිඟය පියවා ගැනීම යන ව්‍යාධිය හේතුවෙන් අප දැන් සිටින්නේ ආර්ථිකයේ අවුල්ම තැනකය. මේ සඳහා අපගේ තෝරා ගැනීම වී ඇත්තේ විස්තීර්ණ ණය පහසුකමක් සඳහා මූල්‍ය අරමුදල වෙත යොමුවීමය. කිසියම් රටක ගෙවුම් ශේෂයේ නොකඩවා හිඟයක් ඇති වුවහොත් එම හිඟය පියවා ගැනීම සඳහා සාමාජික රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා දෙන ක්‍රම දෙකක් ඇත්තේය.

සමීපස්ථ ණය පහසුකම සහ විස්තීර්ණ ණය පහසුකම යන ඒ දෙකෙන් අපේ තේරීම වී ඇත්තේ විස්තීර්ණ ණය පහසුකමය. විස්තීරණ ණය පහසුකම යටතේ මූල්‍ය අරමුදල යම් රටක මහ බැංකුව වෙත ණය මුදලක් ලබා දෙන්නේ එම රටේ විදේශීය සංචිත වැඩි දියුණු කර ගෙවුම් ශේෂයේ හිඟය පියවා ගැනීමටය.

මූල්‍ය අරමුදලෙන් ඩොලර් ලැබුණද වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා වන ණයක් ලෙස මිස එය අපගේ ආදායම් මාර්ගයක් වන්නේ නැත. මේ අවස්ථාවේ ඩොලර් සෙවීම සඳහා අපට ඇති පහසුම මාවත සංචාරකයාය. අර අතට අසුවුණු ඉබ්බා සේ මේ සංචාරකයා අප දැකිය යුත්තේය. බඩගින්නේ රෑ පානේ යන ඩබලක් ඉදිරියට, ඉබ්බෙක් පැමිණෙනවා දකින්නට ලැබුණි. ඒ මොහොතේ මසක රස බැලීම තබා, වතුර උගුරක් ද නැතිව සිටි ඩබල, ඉබ්බා මස් කරගෙන කෑහ. මේ කතාව තවත් රසවත් වන්නේ අතටම යමක් පැමිණි විට ඒ වාසිය ගැන කියාපෑම සඳහාය. ‘ඉබ්බා එක අතක පිහියක් ද රැගෙන තුන පහ ආදිය ද පිටේ බැඳගෙන පැමිණියා සේ’ යන නූතන ජනවහරේ එන කියමන අනුව, අතටම සියල්ල පැමිණි බව කිව හැක්කේය.

බඩගිනිකාරයාට ඇත්තේ ඌ ගෙනා පිහියෙන්මැ මස් කර පිටේ ඇති තුනපහ ටිකම ඒදා ලිපේ තබා ‘ගින්න නිවා ගැනීමය’.

සංචාරකයා ද එහෙමය. රටේ එවුන් ද මෙහි වසන්නට බැරිය කියා, පාස්පෝට් කන්තෝරුව වටේ නයා ගියා සේ පෝලිම් ගැසී රට යන්නට ට්‍රයි එකක් දෙන විට, මේ රටට ඩොලර් අරන් එන සංචාරකයා යනු අද දවසේ අපට ඇති ලොකුම පිහිටය. ඒ අස්සේ අප රටේ සංචාරය සඳහා එංගලන්තයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් පැමිණ සිටියේය. හේ හට ලෝකයේ යන්නට වෙනත් රටවල් නොමැති නිසා මෙහෙ කරක් ගැසුවා නොවේ. පෙට්ටි කඩවලින් කෑම කකා, කුරුම්බා බිබී, ඔහු කාටත් නොදැනෙන්නට මේ රටේ රවුම් ගසමින් විනෝද විය.

සංචාරක ව්‍යාපාරය ඔළුව උස්සාගෙන එන විට ආණ්ඩුව ඒ ගැන උදම් අනන්නේය. විපක්ෂය ඒ වෙලාවට කියන්නේ මෙහෙට එන්නේ බැක් පැකර්ස්ලා පමණයි කියාය. එහෙම එන කෙනා ද බාල්දු කරන රටක, කැමරන් වැනි ‘වීවීඅයිපී’ පිරිස් එන විට කතා නැත.

සංචාරකයා එන්නේ වියදම් දරාගෙනය. සියල්ල සල්ලි හෙයින් අතින්ම වියදම් කර එන කෙනාට අප ඒ පහසුකම හොඳටම දෙන්නේ නම් ඒ පිරිස ලෝකය වටේ තමන්ගේ අත්දැකීම කියමින් යන්නාහ. ඒ නිසා සංචාරකයා දැන් හඳුන්වන අලුත් තාලය වන්නේ අතින් ගෙවන තානාපතිලා, යන්නය.

සංචාරක මණ්ඩලය පැත්තේ කාර්යය ආණ්ඩුව කරනා අතරේ පැමිණ සිටින මේ පුද්ගලයා සඳහා සමාජයක් ලෙස අප ද වැදගත් ආකාරයෙන් සැලකිය යුතුය.

නරක වීඩියෝ බලන එකාට හැම සුද්දියක්ම පේන්නේ අර ජවුසම්වල ඉන්න එවුන් වගේය. ඒකා දකින හැම සුද්දියකටම අර වීඩියෝව ‘සමපාත’ කරන්නට දඟලන්නේය. එහෙම සිද්ධි ගණනාවක් මේ දවස්වල වාර්තා විය. ඒවාට ‘ලාච්චුවේ දැමීමේ’ දණ්ඩනයේ සිට දිය හැකි උපරිම සාත්තුව දිය යුත්තේය.

ඊළඟට ත්‍රීවීල්වලින් බේරුමක් නැතිකමය. සමහර අසමජ්ජාතියෝ අතින් පයින් පවා අදින ගාණට හයර් රුදාවෙන් පෙළෙන බැවින්, කාට හෝ කියාගෙන සමහර සුද්දෝ ‘ ත්‍රීවීල් එපා’ යැයි බෝඩ් එකක් ඇඟේ එල්ලාගෙන පාරේ යන්නාහ.

මාර්ගට් රොබී එහෙම කිව්ව නිසා, ඇය මේ රටේ සංචාරයට කැමැති බව අප දන්නේය. ඩේවිඩ් කැමරන්ව හඳුනාගත්තේ එයාර්පෝට් එකේ පාස්පෝට් එකට සීල් ගසන කෙනා පමණය. පාරේ තොටේ ඔහේ යන්නේ වුවද මේ රටට එන්නේ එහෙම සංචාරකයෝ බව අප සිතට ගත යුතුය.

ගිහින් ඇවිත් කියන පණිවුඩය අනුව, ඊළඟ නඩය සෙට් වෙන බැවින්, මෙහෙ පැමිණි පිරිසට රට ගැන හොඳක් කියන සේ අප හැසිරුණහොත් මේ වෙලාවේ රටට කරන ලොකුම යුතුකමක් බවට එය පත් වන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT