දැනට පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩ ගත හැකි සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිස ගෙන සිටින වැඩපිළිවෙළ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන අපේකෂකයකුට මිස, කුමන වරදාන වරප්‍රසාදයකට හෝ වෙනත් කිසිවකුට තමාගේ සහාය හිමි නොවන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව කීවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝමාගම ආසනයේ ක්‍රියාකාරි සාමාජික හමුව, පක්ෂ ශාඛා පිහිටුවීම සහ සමාජික ප්‍රවර්ධන වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෝමාගමදී පැවති අවස්ථාවේදීය. ආණ්ඩුව පෙරළීමට සූදානම් වන කුමාරවරුන්ට අයවැය පරතරය හා ඩොලර් ආදායම් වියදම් පරතරය විසඳීම පිළිබඳ වැඩපිළිවෙළක් තිබෙනවාද යන්න රටට ප්‍රකාශ කළ යුතු යැයි හෙතෙම මෙහිදී කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා:
“පක්ෂයක් ලෙස කටයුතු කිරීමේදී පෞද්ගලික මතවාදවලින් තොරව විනයකින් යුතුව කටයුතු කළ යුතුයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ලෙස ජාති ආගම් භේදයකින් තොරව ජීවත් විය හැකි රටක් බවට පත් කිරීමේ අභියෝගයට මුහුණ දුන්නා. ඒ ජාතික අරමුණට දායක වීමට ලැබීම පිළිබඳ දේශපාලනඥයකු ලෙස මා සතුටු වනවා. ඒ වෙනුවෙන් දුන් සෑම ඡන්දයකටම ඉතිහාසගත අගයක් එකතු කිරීමට අපට හැකි වුණා. දේශපාලනයේ අනාගතය දකිමින් අප පක්ෂ හදන්න අවශ්‍ය තැනදී පක්ෂ හැදුවා; පක්ෂ කඩන්න අවශ්‍ය තැනදී පක්ෂ කැඩුවා. ඉතිහාසයේ පළමුවරට චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ ආර්ථික ඍණ අගයකට පත් වුණා. රටට අහිතකර ඒ රජයෙන් ඉවත් වී විපක්ෂයට යන්නට පළමු පියවර තැබුවේ මම. ඒ අවස්ථාවේ බොහෝ දෙනකුගේ කකුල් වෙව්ලුවා. දේශපාලනයේ අතීතය නොදන්නා බොහෝ දෙනකු මේ ගැන දන්නේ නැහැ. සෑම විටම රට වෙනුවෙන් ජනතාවගේ පැත්තේ හිට ගන්නට අප දෙවරක් සිතුවේ නැහැ. රට ආර්ථික වශයෙන් වැටී තිබෙන මේ අවස්ථාවේ නැවතත් තිබුණ තත්ත්වයට රට ඔසවා තබා මිස අප මේ ගමන අතහැර දමා නොයන බව ප්‍රකාශ කිරීමට කැමතියි. අප සෑම විටම ජාතික දේශපාලනයක නිරත වනවා. ඒ හැර කිසිදු අවස්ථාවක පාලම් බොක්කු දේශපාලනයේ නිරත වන්නේ නැහැ.
“ආර්ථිකයේ කඩාවැටීම පිළිබඳ බොහෝ දෙනා විවිධ පාර්ශ්වයන්ට ඇඟිල්ල දිගු කරනවා. කිසිදු පදනමක් නැති, අවිද්‍යාත්මක ආර්ථික ගමනක් හේතුවෙන් මේ තත්ත්වය උදා වී තිබෙනවා. ඊට පවතින්නේ දේශපාලනඥයන්ගේ හේතු නොවෙයි. ආර්ථික හේතු දෙකක් මත රට බංකොලොත් තත්ත්වයට පත්ව තිබෙනවා. එකක්: රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය. විවිධ ආකාරයෙන් 2022 වසරේ රටේ සියලු දෙනාගෙන් ගන්නා ලද බදු ආදායම රු. බිලියන 1979යි. එයින් මිලියන 956ක් රාජ්‍ය සේවක වැටුප් වශයෙන් ගෙවා තිබෙනවා. විශ්‍රාම වැටුප් ලෙස 309ක් ගෙවා තිබෙනවා. රටේ මුළු බදු ආදායමෙන් 63%ක් වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වැය වනවා. සමෘද්ධි ඇතුළු සහනාධාර සඳහා 815ක් වැය වනවා. ණය පොලී වශයෙන් 1565ක් ගෙවිය යුතුයි. මේ සියල්ලේ එකතුව 3645යි. එවිට බිලියන 1666ක අයවැය හිඟයක් ඇති වනවා. ඒ පරතරය පියවීම වෙනුවෙන් දේශීය හා විදේශීය වශයෙන් විශාල මුදලක් ණය වශයෙන් ගෙන තිබෙනවා. දෙවැනි කරුණ: ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය. රටේ මුළු අපනයන ප්‍රමාණයෙන් ලැබෙන ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය අහාර, යන්ත්‍රසුත්‍ර, ඉන්ධන ආදිය ආනයනයට වැය වනවා.
“කරුණු පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරව කවුරුන් විසින් ආණ්ඩු බලය ගත්තත් මේ පරතරය පියවාගන්නා ආකාරය පිළිබඳ ක්‍රමවේදයක් පැවතිය යුතුයි. ණය අර්බුදයෙන් රට ගලවාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් එකඟතා අනුව කටයුතු කිරීමකින් තොරව කිසිම රජයක් පවත්වාගෙන යා නොහැකියි. විදේශ ණය ආධාර ගැනීමකින් තොරව රට අඟලක් හෝ ඉදිරියට ගෙන යා නොහැකියි. මේ කිසි දෙයක් නොදැන ආණ්ඩුව පෙරළීමට සූදානම් වන කුමාරවරුන්ට මේ පිළිබඳ වැඩපිළිවෙළක් තිබෙනවාද යන්න රටට ප්‍රකාශ කළ යුතුයි.
“මේ ක්‍රමවේදයෙන් පිට කිසිම කෙනකුට මේ මාතෘභූමිය බේරාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයකදී තිබෙන ආර්ථිකයෙන් රට ගොඩ ගත හැකි, ගිවිසගෙන සිටින මේ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක අපේක්ෂකයකුට මිස, කුමන වරදාන වරප්‍රසාදයකට හෝ වෙනත් අයකුට මාගේ සහාය හිමි නොවන බව ප්‍රකාශ කිරීමට කැමතියි. මේ ඉලක්ක සපුරාගත හැකි දැක්මක් සහිත අපේක්ෂකයකු පක්ෂයක් වශයෙන් තෝරාගෙන රට බේරාගැනීමේ පළමු කටයුත්ත සිදු කළ යුතුයි. ඒ සඳහා දැනුම්වත් බවකින් යුතුව සංවිධානය විය යුතුයි.“
හිටපු ඇමැති, (පා.ම) ගාමිණී ලොකුගේ, (පා.ම) ජයන්ත කැටගොඩ, හෝමාගම ප්‍රා/සභාවේ හිටපු සභාපති සම්පත් ජයසිංහ මහත්වරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරිකයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
සුභාෂිණි සේනානායක