Home » කියුබා-අමෙරිකා සමුළුවලට ජනපති 13 වැනිදා යයි

කියුබා-අමෙරිකා සමුළුවලට ජනපති 13 වැනිදා යයි

by sachintha
September 4, 2023 6:53 am 0 comment

සැප්තැම්බර් 19 දා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි වාර්ෂික සැසියේ නායක සමුළුවට සහ සැප්තැම්බර් 15 සහ 16 දෙදින කියුබාවේ හවානා නුවර පැවැත්වෙන ජී 77 සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 13 දා දිවයිනෙන් පිටත් වීමට නියමිතය.

ප්‍රථමයෙන් කියුබාවට යන ජනාධිපතිවරයා 15 සහ 16 යන දෙදින හවානා හි පැවැත්වෙන ජී 77 සමුළුවට සහභාගි වනු ඇත.
ඉන්පසු නිව්යෝර්ක් නුවරට යන ජනාධිපතිවරයා 19 දා ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි වාර්ෂික සැසියට එක් වන අතර 21 දා එම සමුළුව අමතයි.

හවානා නුවරදී මෙන්ම නිව්යෝර්ක් නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවලට සහභාගි වීමට එහි පැමිණෙන ලෝක නායකයින් රැසක් සමඟ නිල මට්ටමේ සාකච්ඡා පවත්වනු ඇත.

මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ තේමාව වන්නේ ‘සංවර්ධනය සඳහා මූල්‍යකරණය’ වන අතර එය පශ්චාත් කොවිඩ් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ දේශගුණික විපර්යාසවල අභියෝගවලට මූල්‍යකරණය කිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වීම අරමුණු කර ගෙන ඇත.

ජී 77 හි ආර්ථික වශයෙන් සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ සාමාජික රටවල් 134ක් සිටින අතර නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ශාඛාවක් වන එය 1964 දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 77 කින් ආරම්භ විය.

එම සමුළුවේ මෙවර තේමාව වන්නේ ‘ආර්ථික වශයෙන් සංවර්ධිත රටවල් සහ ජී 77 සාමාජික රටවල් අතර, ගෝලීය විෂමතා විස්තර කරන උතුරු – දකුණු ඩිජිටල් බෙදීමයි. ජී 77 හි වත්මන් සභාපතිත්වය දරන කියුබාව මෙවර සමුළුවෙන් පසු උගන්ඩාවට සභාපතිත්වය ලබා දෙනු ඇත.
ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT