Home » බෝනස් නොදුන්නාට කළමනාකරුට ඇසිඩ් ගැසූ පස් දෙනා වැරදිකරුවන් වී අවුරුදු 5ක් ඇතුළට

බෝනස් නොදුන්නාට කළමනාකරුට ඇසිඩ් ගැසූ පස් දෙනා වැරදිකරුවන් වී අවුරුදු 5ක් ඇතුළට

වන්දි හා දඩ ගෙවන්නත් වෙයි

by gayan
September 2, 2023 1:00 am 0 comment

කිතුල්ගල තානායම ආසන්නයේ පවත්වාගෙන ගිය බෝට්ටු අංගණයේ කළමනාකරුට පහර දී මුහුණට ඇසිඩ් ගසා බෝට්ටු අංගණයට ගිනි තබා රුපියල් විසිහතර ලක්ෂ හාරදහස් පන්සියයක අනර්ථයක් සිදු කළ විත්තිකරුවන් පස්දෙනා වැරදිකරුවන් කළ සබරගමුව පළාත් බද කෑගල්ල මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය වසර පහ බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද පැමිණිල්ලේ දෙවැනි සාක්ෂිකරුට ලක්ෂ විස්සක වන්දි මුදලක් ද ගෙවන ලෙස පෙරේදා (31) නියෝග කළාය.

පළමු චෝදනාවට මාස 6 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද ඊට අමතරව රුපියල් 8000 බැගින් දඩ මුදලක් ද ගෙවන ලෙස නියෝග කර තිබේ. දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හය බැගින් ලිහිල් සිරදඬුවම් ද නියම කෙරිණ. සිව්වැනි චෝදනාවට වසර 5 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ද, ඊට අමතරව රුපියල් 20,000 බැගින් දඩ මුදල් ද ගෙවීමට නියෝග කෙරිණ. දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 8 බැඟින් ලිහිල් සිරදඬුවම් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එක් විත්තිකරුවකු රුපියල් ලක්ෂ 4 බැගින් විත්තිකරුවන් පස්දෙනාට ලක්ෂ 20ක වන්දි මුදලක් පැමිණිල්ලේ දෙවැනි සාක්ෂිකරු වන වන්නිආරච්චිලාගේ දොන් ප්‍රදීප් රොෂාන් වන්නිආරච්චි නැමැත්තාට ගෙවන ලෙසත් වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර 3 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ද නියම කර තිබේ. චෝදනා දෙකකට දී ඇති සිර දඬුවම් එකවර ගෙවී යන ලෙස ද විනිසුරුවරිය දඬුවම් නියෝග කළාය.

මෙලෙස දඬුවම් නියම වූයේ ගිනිගත්හේන වටවල පදිංචිව සිටින 35 හැවිරිදි හතුරුසිංහ ආරච්චිලාගේ ලසිත අනුරුද්ධ, කිතුල්ගල කළුකොහුතැන්න ලිපිනයේ පදිංචිව සිටින 40 හැවිරිදි යද්දල ගමරාලලාගේ කැළුම් දර්ශන පියරත්න, කිතුල්ගල කළුකොහුතැන්න ලිපිනයේ පදිංචිව සිටින 34 හැවිරිදි යද්දල ගමරාලලාගේ ශිරාන් චින්තක පියරත්න, ගිනිගත්හේන වටවල පදිංචිව සිටින 37 හැවිරිදි හගරාපිටිය ආරච්චිලාගේ ප්‍රියන්ත පුෂ්පකුමාර, කිතුල්ගල කළුකොහුතැන්න ලිපිනයේ පදිංචිව සිටින 37 හැවිරිදි ජනිසලාගේ ධනුෂ්ක නිරෝෂන් අමරසිංහ නමැති පස්දෙනාටය.

නුගේගොඩ පළමු හරස් වීදිය අංක 27 ලිපිනයේ පදිංචිව සිටින රෙස්මින් මිහින් අමරසිංහ නැමැත්තා විසින් කිතුල්ගල තානායම ආසන්නයේ ‘ලංකා ඇඩ්වෙන්චර්’ නමින් බෝට්ටු සේවාවක් පවත්වාගෙන ගොස් ඇති බවට අධිකරණයේදී අනාවරණය විය. මෙම බෝට්ටු සේවාවේ කළමනාකරු ලෙස මහරගම තාප්ප වත්ත පාරේ අංක 433/23 ලිපිනයේ පදිංචිව සිටින 42 හැවිරිදි වන්නිආරච්චිලාගේ දොන් ප්‍රදීප් රොෂාන් වන්නිආරච්චි නැමැත්තා බෝට්ටු අංගණයේ හිමිකරු විසින් 2008 වර්ෂයේ සිට සේවයට යොදවා තිබේ. 2010 අප්‍රේල් 19 දින පාන්දර 3.30 පමණ බෝට්ටු අංගණයේ බෝට්ටු පදවන්නන් ලෙස සේවය කරමින් සිටි පළමු, දෙවැනි හා තෙවැනි විත්තිකරුවන් තිදෙනා ඇතුළු පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට බෝනස් මුදලක් ලබා නොදුන්නා යැයි පවසා කාමරයට ගොස් නිදා සිටි කළමනාකරුට අතින් පයින් පොලුවලින් හිසට පහර දී මුහුණට ඇසිඩ් ගසා තිබේ. පසුව සේවකයන් තිදෙනා ඇතුළු පස්දෙනා බෝට්ටු අමතර කොටස් අංගණයට ගිනි තබා ඇවිළෙමින් තිබුණු ගිනිගොඩට කළමනාකරු තල්ලු කර දමා තිබුණි. තානායමට විදේශිකයන් රැගෙන පැමිණ සිටි මඟපෙන්වන්නන් හා අසල්වැසියන් පිරිසක් කළමනාකරු බේරා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය. කරවනැල්ල මූලික රෝහලෙන් වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති කළමනාකාරවරයා මාස 4යි දින 4ක් එහි නේවාසිකව ප්‍රතිකාර ලබා අගෝස්තු මස 23 වැනිදා නිවෙසට ගොස් තිබුණි. එවකට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එන්.ඒ.එස්.පී. විජේරත්න මහතා විසින් තුවාලකරු පරීක්ෂා කර ඇති අතර, ඔහුගේ වම් ඇස සම්පූර්ණයෙන්ම නොපෙනෙන අතර, දකුණු ඇසේ වර්තමානයේ සුද රෝගය ද පැමිණ තිබෙන බව තහවුරු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බෝට්ටු අංගණයේ හිමිකරු කිතුල්ගල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් කෑගල්ල මහධිකරණය මඟින් ලබා දී තිබුණු ඇප කොන්දේසි සපුරාදීමෙන් පසුව ඇප මත නිදහස් කෙරිණ. කෙසේ වෙතත් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පෙරේදා (31) නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණ. එහිදී විත්තිකරුවන් පළමු හා සිව්වැනි චෝදනා දෙකට වැරදිකරුවන් කරන බවත් දෙවැනි හා තෙවැනි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරිය පැවසුවාය.

චුදිතයන්ට මිනි මැරීමට තැත් කිරීමේ වරදට වසර 20ක කාලයක් දඬුවම් නියම කිරීමට මහාධිකරණයට බලයක් ඇති බවත්, එම දඬුවම වන්දි නියම කිරීමෙන් යම්කිසි සමබරතාවයක් ඇති කිරීමට හැකි ද යන්න අපරාධ යුක්ති විනිශ්චය අනුව සිතා බලන බවත්, ඒ අනුව එක් චුදිතයෙක් ලක්ෂ 4 බැගින් චුදිතයන් පස් දෙනාට ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙසටත් නියෝග කෙරිණ. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ රිද්මා කුරුවිටද, චුදිතයන් වෙනුවෙන් නීතිඥ බුත්සිරි හරිත සේනානායක යන අයද පෙනී සිටියහ.

කිතුල්ගල පොලිසියේ පොලිස් සැරයන් ජයසිංහ (48704) අධිකරණයේ පෙනී සිටියේය.

කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්, සබරගමුව සමූහ – ගාමිණී රම්‍යපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT