බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේදී යතුරුපැදියකින් පැමිණ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ මහ මොළකරු ඇතුළු දෙදෙනකු අද (1) අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ ඝාතන සැලසුම් කළ අතුරුගිරියේ එරංග නොහොත් එරා (34)
නමැත්තෙකි.
සැකකරු මෙය සැලසුම් කර ඇත්තේ ඩුබායි රටේ සැඟවී සිටින ගඩ්ඩා නොහොත් මාකස් ජෝස්ප්ගේ උපදෙස් මත බව මූලික පරීක්ෂණවලින් හෙළි වූ බවත්, ඩුබායිහි සැඟවී සිටින ගඩ්ඩා නොහොත් මාකස් ජෝස්ප්ගේ කල්ලිය සහ විදේශගතව සිටින බත්තරමුල්ල බන්ටිගේ පාතාල කණ්ඩායම් අතර ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මේ ඝාතනය සිදු කර ඇති බවත් තලංගම පොලිසියේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.
මේ සැකකරුට හා ගඩ්ඩා හට අතුරුගිරියේ සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනාවක්ද ඇති බවද මැසෙන්ජර් මඟින් ඩුබායි සිටින ගඩ්ඩා නමැත්තා සමඟ තොරතුරු කතාබහ කර ඇති බවද අනාවරණය වී තිබේ. සැකකරු සමඟ ඝාතනය සඳහා භාවිත කළ යතුරුපැදියට යෙදූ ව්‍යාජ අංක තහඩුව සකස් කළ අතුරුගිරියේ පුද්ගලයකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තලංගම පොලිස් ස්ථානාධිපති (ප්‍ර.පො.ප) රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති (උ.පො.ප) එන්. ලක්ෂිත මහතා ඇතුළු පිරිසක් ඉදිරි විමර්ශන සිදු කරති.
මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි