Home » රබර් ගසේ කඳුළු කතාව නිවැරදිව කියවා ගනිමු

රබර් ගසේ කඳුළු කතාව නිවැරදිව කියවා ගනිමු

by gayan
September 2, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ රබර් වගාව අපේ ජනජීවිතය හා කෙතරම් නම් බද්ධ වී ඇත්ද යන්නට හොඳම නිදසුන නම් එය අපට ආගන්තුක ශාකයක් බව හෝ බොහෝ දෙනෙකුට අමතක වී තිබීමයි. 1876 දී එවකට අප රට පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් රබර් වගාවට වසර 150ක් පිරීමට ඇත්තේ තවත් වසර තුනකි. ඔවුන් රබර් වගාව හඳුන්වා දුන්නේ ඔවුන්ගේ කර්මාන්තවලට අවශ්‍ය රබර් අමුද්‍රව්‍ය සපයා ගැනීමට වුවද ඉන් අප රටට සැලසී ඇති වාසි බොහෝය.

ලාංකීය ජන ජීවිතය හා බැඳී රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් සපයන මේ වගාව මෙතුවක් කල් පැවතීමට හේතුව එයින් ලබා ගත හැකි රබර් කිරි විය හැකිද?රබර් වගාවක් දෙස වෙනත් මානයන්ගෙන් බලන විට එහි ඇති සුන්දර පැතිකඩ බොහෝය.

රබර් වගාවක් වාණිජ වගාවක් ලෙස සැලකුවද එය දෙවැනි වන්නේ වැසි වනාන්තරයකට පමණි. බොහෝ සතා සිවුපාවුන්ට සෙවණ දෙනවා පමණක් නොව අනෙකුත් ගස්වැල් සඳහා ඉඩකඩ රබර් වගාවේ ඇත. රබර් වගාවක ඇති සිසිලස විඳින්නට නම් එහි යා යුතුමය. වායු සමීකරණ යන්ත්‍ර දස දහස් ගණනකින් කළ නොහැකි වාතය සිසිල් කිරීම රබර් ගසකින් නොපිරිහෙළා ඉටු කරයි. වායු දූෂණය කරන කාබන්ඩයොක්සයිඩ් වායුව උරාගෙන ඒ වෙනුවට නිරතුරුවම ඔක්සිජන් වායුව ලබා දීමද රබර් වගාවේ සිදු කෙරෙන එහෙත් ඇසට නොපෙනෙන ක්‍රියාවලියකි.

තේක්ක බුරුත කළුවර වැනි වටිනා ශාක විශේෂ මේ තරමින් හෝ වනාන්තරවල ආරක්ෂා වී ඇත්තේ වාර්ෂිකව රබර් වගාවෙන් ජනතාව වෙත සපයන දැව ප්‍රමාණය නිසාය. රබර් දැව ඉන්ධනයක් මෙන්ම කර්මාන්ත බොහොමයකට අමු ද්‍රව්‍යයකි. රබර් වගාවක සුරක්ෂිතව පවතින වටිනාම සම්පත නම් ජල පෝෂක ප්‍රදේශ සහ පිරිසුදු ජල ප්‍රභවයන්ය. දැව සහ රබර් කිරි ආනයනය කළ හැකි වුවද පිරිසුදු ජලය රටක ජීවයයි. මේ සඳහා අපට නොපෙනෙන ඉතා වැදගත් කර්තව්‍යයක් රබර් වගාවෙන් සිදු කෙරෙයි. එනම් අප රටට අධිකව වර්ෂාව ලැබෙන මෝසම් වැසි කාලවලදී රබර් වගා භූමිවල රඳා පවත්වා ගන්නා ජල ප්‍රමාණයයි. එලෙස ජලය රඳවා ගැනීමට හැකි වී ඇත්තේ රබර් වගාවේ පවතින යටි වගාව නිසා පොළොව ඉතා සවිවර වීමත් වැසි ජලය ඒ තුළින් බොහෝ ගැඹුරට උරා ගත හැකි වීමත් නිසාය. එහෙත් යටි වගාවන් නැති වෙනත් බොහෝ වගාවලට වැටෙන වැසි ජලය පොළොවට උරා ගැනීමට හැකියාවක් නැති අතර මෝසම් වැසි කාලවලදී ඒ හේතුවෙන් එම ප්‍රදේශවල වෙනදා නොතිබුණු ගංවතුර තත්ත්වයක් ඇතිවෙයි. එමෙන්ම පොළොවට උරාගත් ජලය නැතිකමෙන් වර්ෂාව නැවතුණු වහාම එම ප්‍රදේශවල ජල හිඟයක් ඇති වී ළිං පවා සිඳී යයි. මේ තත්ත්වය දැනටත් අත්විඳින ප්‍රදේශ ලංකාවේ ඇත. එබැවින් යම් කිසි ශාකයකින් ලැබෙන,මුදලට විකුණාගත හැකි ඵලදාව පමණක් ගණනය කර එම වගාවේ පැවැත්ම තීරණය නොකළ යුතුය.

රබර් වගාවේ තවත් වැදගත් කරුණක් නම් කිසි දිනෙක හෝ අස්වැන්න අපතේ යෑමක් සිදු නොවීමයි. රබර් හෝ කිරි කැපීමේදී ලැබෙන අතුරු ඵලයක් වන ඔට්ටපාලු ටිකක් හෝ විකුණා ගත නොහැකි වූ අවස්ථාවක් අසා නැත. මිල අඩු කාලයකදී කිරි නොකපා සිටීමෙන් ගසට සිදු වන හානියක් ද නැත. එහෙත් වෙනත් කිසිම බව භෝගයක අස්වැන්න නෙළීම පමා කළ නොහැක.

රබර් මිල

රබර් වගාවට වසර 150කට ආසන්න වුවත් තවමත් අප විසින් රබර් වගාව පිළිබඳ තේරුම් නොගත් අංශයක්ද එහි ඇත. එනම් රබර් මිලයි. රබර් මිල එදා සිට අද දක්වා චක්‍රිය ලෙස උච්චාවචනයට ලක්වන බව අප හොඳින් අත්විද ඇත්තෙමු. එහෙත් අප විසින් නිරතුරුවම සිදුකරන ලද්දේ මිල ඉහළ ගිය විට රබර් සිටුවීමත් මිල පහළ යන විට රබර් වගාවෙන් ඉවත් වීමට උත්සාහ කිරීමත්ය. රබර් මිල පිළිබඳව අප විසින් දැනගත යුතු තවත් වැදගත් කරුණකි. එනම් රබර් කිලෝවක මිල ජාත්‍යන්තරව තීරණය කරනු ලබන්නක් මිස ලෝක නිෂ්පාදනයෙන් සියයට එකකටත් වඩා අඩු නිෂ්පාදනයකට හිමිකම් කියන අප රටට කිසිසේත් බලපෑමක් හෝ කළ නොහැකි දෙයක් බවයි.

කළ හැකි දේ කරමු

2022 දී කළ සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ රබර් ගසේ පට්ටය වියළීමේ තත්ත්වය දරුණු ලෙස පවතින බව පෙනී ගියේය. සමීක්ෂණය කළ වගාවන්හි 20% -70% දක්වා පරාසයක ගස් මේ තත්ත්වයට ගොදුරු වී තිබුණි. මේ තත්ත්වය ඇතිවීමට ආසන්නම හේතුව ලෙස දැක්විය හැක්කේ ගසකින් ලබා දියහැකි කිරි ප්‍රමාණයට වඩා වැඩි කිරි ප්‍රමාණයක් ගසෙන් ලබා ගැනීමට තැත් කිරීමයි. එවැනි අවස්ථාවක ගසේ පවතින ආරක්ෂක මෙවලමක් ලෙසට ගසේ පට්ටය වියළීයෑම සිදුවේ. වසර 2011 දී රබර් කිලෝවක් රුපියල් 650ක් දක්වා ඉහළ ගිය විටද වැඩි මිලෙන් වැඩි ප්‍රයෝජනයක් ගත යුතු බව කියමින් කිරි කැපීමේ නිර්දේශිත තීව්‍රතාවන් ඉක්මවා කිරි කැපීමේ හේතුවෙන් මේ පට්ට තැම්බීමේ ප්‍රවණතාව වැඩි විය.

රබර් තවාන්වල හටගන්නා විවිධ රෝග රබර් පර්යේෂණායතනය විසින් නිර්දේශිත දිලීර නාශක යොදාගෙන ඉතා හොඳින් පාලනය සිදු කරයි. මේ නව පත්‍ර පතන රෝගය පාලනය සඳහා දැනටමත් ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය විසින් දිලීර නාශක දෙකක් නිර්දේශ කර ඇත. එහෙත් රබර් වැනි විශාල වියනක් සහිත එමෙන්ම ඉතා දුෂ්කර වූ භූමි පිහිටීම්වල වගාකර ඇති රබර් වගාවන්හි මෙලෙසට රසායනික ද්‍රව්‍යය යෙදීමේදී බොහෝ ප්‍රායෝගික දුෂ්කරතා ඇති වේ. එබැවින් රසායනික ද්‍රව්‍ය යොදා රෝග පාලනය අවසාන උපක්‍රමය විය යුතුය.

කොළ නිවාඩුව ආශිර්වාදයක්

වාර්ෂිකව කොළ හැලෙන පෙබරවාරි මාසයේදී රබර් ගස් සඳහා නිවාඩුවක් ලබාදීම පෙර පැවති ක්‍රමයයි. මෙය ඉතා සාධාරණ හේතූන් පදනම් කරගෙන තිබූ නිර්දේශයක් වුවද 1960 ගණන්වලදී Nab 12 සහ Nab 15 ක්ලෝන දෙක යොදාගෙන කරන ලද පර්යේෂණයකදී පෙබරවාරි මාසය තුළ දී ද කිරි කැපීම කළ හැකි බව අනාවරණය කර ඇත. එහෙත් දැනට වගා කෙරෙන ක්ලෝන මඟින් අධික ඵලදාවක් ලබාදෙන බැවින් මේ නිර්දේශය නැවත සලකා බැලිය යුතුය. 2018-2019 වකවානුවේදී ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය විසින් නව රබර් ක්ලෝන තුනක් යොදාගෙන (RRIC 100, RRIC 121 සහ RRISL 203) කරන ලද පර්යේෂණයකදී රබර් ගසේ වාර්ෂික පත්‍ර පතනය සිදුවී නැවත දළු හටගන්නා වකවානුවේදී කිරි නොකපා සිටීම වඩා වාසිදායක බව අනාවරණය කර ඇත. එනම් එම මාසයක පමණ කාලයේදී ලබා නොගන්නා කිරි ප්‍රමාණය ඉතිරි රබර් නිෂ්පාදනය වාර්ෂිකව අඩු වැඩි වීම් පෙන්නුවද අඩුවීමේ ප්‍රවණතාවක් සම්පූර්ණ කාලය සැලකීමේදී පෙනේ. මේ සඳහා ඇති එක් ප්‍රධාන හේතුවක් නම් රබර් වගා භූමි ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී තිබීමය. එනම් වෙනත් ආර්ථික වාසි සඳහා මෙන්ම රබර් මිල අඩුවන කාලවලදී වෙනත් බෝග සඳහා රබර් ඉඩම් යොදාගෙන ඇති බව පෙනේ.රබර් ගසක් සිටුවා එයින් නිවැරදිව කිරි ලබා ගන්නා ඔබ රට ජාතිය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කර ඇත.

-ආචාර්ය ප්‍රියානි සෙනෙවිරත්න

ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ

හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)/

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT