Monday, April 21, 2025
Home » හෙද සේවාවට අලුතින් 3,000ක්

හෙද සේවාවට අලුතින් 3,000ක්

by gayan
September 2, 2023 1:00 am 0 comment

රෝහල් පද්ධතියේ හෙද සේවාව සඳහා හෙද හෙදියන් 3000ක් බඳවාගැනීමට රජය තීරණය කළ බව සෞඛ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද සේවාවට සම්බන්ධ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

බඳවාගැනීම් සඳහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් ඇමැතිවරයා බඳවාගැනීම් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ නම් ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

වර්ෂ 2018 දී සිසු හෙද පුහුණුව සඳහා බඳවාගැනුණු පුහුණුලාභීන් 2,500ට ආසන්න පිරිසක් සහ හෙද උපාධිධාරීන් 500ක් මෙරට හෙද සේවාවට එක් කිරීමට ඉලක්ක කර ඇත. හෙද පුහුණුව සදහා බඳවාගැ‌නෙන 2019 – 2020 උසස් පෙළ කාණ්ඩයේ අයදුම්පත්‍ර කැඳවීම සඳහා වන ගැසට් පත්‍රය සැප්තැම්බර් මස මැද වන විට නිකුත් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ඉන් තෝරාගැනෙන අයදුම්කරුවන් වසර 3ක හෙද පුහුණුවක් සදහා යොමු කරයි.

පසුගිය ජූලි මස 3,315ක් හෙද සිසු සිසුවියන් ලෙස පුහුණුවට බඳවාගැනුණු අතර, ඔවුහු 2018 / 2019 වර්ෂවල උසස් පෙළ ප්‍රතිඵල අනුව සමත් වූවෝ වෙති. මේ වන විට මෙරට හෙද පුහුණුව ලබන සිසු හෙද හෙදියන් සංඛ්‍යාව 6,700ක් පමණ වේ.

ගෝලීය කොවිඩ් ව්‍යසනය වැනි අනපේක්ෂිත තත්ත්ව මත හෙද බඳවාගැනීම්හි යම් අඩාළ වීමක් සිදු වුවද ඉදිරියේදී ඒ බඳවාගැනීම් නිසි කලට සිදු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් (පාලන) ඒ.එම්. වත්සලා ප්‍රියදර්ශනී, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) එච්. චාමික ගමගේ ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT