ශ්‍රී ලංකා කරාටේ දෝ සංගමය අත්හිටුවමින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම අද (1) සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (31) තීරණය කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් යන මහත්වරු හමුවේ මේ පෙත්සම කැඳවන ලදි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉල්ලා සිටියේ ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත්කර ඇති අතුරු කමිටුව පිළිගැනීම ලෝක කරාටේ දෝ සංගමය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
එබැවින් මේ පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බලා කඩිනමින් නියෝගයක් ලබා දෙන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.
කෙසේ වුවද මේ පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මේ පෙත්සම අද සලකා බැලීමට නියම කළේය.
ශ්‍රී ලංකා කරාටේ දෝ සංගමයේ සභාපති එච්.එම්. කුමාර එහි මහ ලේකම් බී.එම්. කීර්ති කුමාර ඇතුළු අට දෙනෙකු විසින් මේ පෙත්සම ගොනු කර තිබිණි.
ක්‍රීඩා සහ යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ එම අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, කරාටේ දෝ අතුරු කමිටුවේ සාමාජිකයන් ඇතුළු දොළොස් දෙනකු මෙහි වගඋත්තරකරුවෝ ලෙස නම් කර සිටිති.
දිවයින පුරා කරාටේ දෝ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා කරාටේ දෝ සංගමය කටයුතු කරන බව පෙත්සමෙහි සඳහන් වේ. අන්තර් පාඨශාලා මෙන්ම අන්තර් සමාජ තරග සංවිධානය කරන බව එහි දැක්වේ.
ඉකුත් 2022 මැයි මස 24 දින පැවති නිලවරණයෙන් පෙත්සම්කරුවන් එම තනතුරුවලට තේරී පත්වූ බවද ඔවුන් එම තනතුරෙහි අඛණ්ඩව කටයුතු කළ බවද පෙත්සමෙහි දැක්වේ.
පෙත්සම්කරුවන් එම තනතුරුවල කටයුතු කරන බවට ලෝක කරාටේ දෝ සංගමය විසින් ද පිළිගෙන ඇති බව පෙත්සම්කරුවන් විසින් පෙන්වා දී ඇත.
එසේ තිබියදී ඉකුත් ජූලි මස 28 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා කරාටේ දෝ සංගමය අත්හිටුවා ඒ වෙනුවට අතුරු කමිටුවක් පත් කර තිබේ.
ක්‍රීඩා ඇමැතිවරයාගේ මේ තීරණය නීතිවිරෝධී, අත්තනෝමතික සහ අසාධාරණ බවට පැමිණිලි කර සිටින පෙත්සම්කරුවන් අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇත.
එසේම ඇමැතිවරයා විසින් පත් කරන ලද අතුරු කමිටුව එම තනතුරුවල කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
නීතිඥ මංජුල බාලසූරිය මහතා මඟින් මේ පෙත්සම් ගොනු කර තිබිණි.