යාපනයේ වඩමාරච්චි කුඩත්තනෙයි ප්රදේශයේ නිවසකට අවි ආයුධ සමඟ පැමිණි පිරිසක් එහි සිටි කාන්තාවක් බලහත්කාරයෙන් පෙරේදා (30) පැහැර ගෙන ගොස් තිබේ.
මේ පිළිබඳව යාපනය පේදුරුතුඩුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය ආරම්භ කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පැහැර ගෙන ගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයාද මේ සිද්ධියට සම්බන්ධ බවයි.
දෙදෙනාගේ පවුල් ආරවුල සම්බන්ධයෙන් යාපනය පේදුරුතුඩුව පොලිසියේ පැමිණිලි කීපයක්ම දමා ඇති අතර, පොලිසිය අවසන් වරට උපදෙස් දී අත්තේ මේ දෙදෙනාට අධිකරණයේ පිහිට පතා යම් තීන්දුවකට එළඹෙන ලෙසයි.
මේ අඹුසැමියන් මාස කිහිපයක සිට වෙන් වෙන්ව ජීවත් වන අතර, කාන්තාව ඇගේ මවගේ නිවසේ සිටියදී එක් වරම නිවසට ආයුධ සන්නද්ධව කඩා වැඩුණු පිරිසක් නිවසේ උදවිය හා කාන්තාව බියගන්වා ඇයව වාහනයක දමාගෙන බලහතාකරයෙන් පැහැරගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේදී වාහනය තුළ කාන්තාවගේ ස්වාමියාද සිටි බව සී. සී. ටී. වී. කැමරා දර්ශනවලින් පොලිසියට තහවුරු වී තිබේ.
පැහැරගෙන ගිය කාන්තව හෝ එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට තවමත් හැකියාවක් ලැබී නොමැති අතර, පේදුරුතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.