වවුනියාවේ කරප්පන්කාඩු ප්‍රදේශයේ බේකරියක නිෂ්පාදනය කළ කේක් ගෙඩියක තිබී මියගිය හූනෙකු හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් පෙරේදා (30) පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
වවුනියාවේ දුම්රියපොළ පාරේ වෙළෙඳ සැලකින් පාරිභෝගිකයෙක් විසින් මිලදී ගත් කේක් ගෙඩියක තිබී හූනෙකු හමු වීමෙන් පසුව ඔහු ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි කොට තිබේ.
වවුනියාව ඇතුළු උතුරු පළාතේ විවිධ වෙළෙඳ සල්වලින් මහජනතාවට ආහාරයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය හමු වී ඒ ගැන පාරිභෝගිකයින් සෞඛ්‍ය අංශ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට හා වෙනත් පාර්ශ්ව වලට පැමිණිලි කොට ඇතත් එම වෙළෙඳුන්ට හා නිෂ්පාදකයින්ට එරෙහිව විශාල දඬුවමක් මේ දක්වා ලැබී නොමැති බව උතුරේ වැසියෝ පවසා සිටිති. යාපනයේ ආපණ ශාලාවකින් උදෑසන ආහාරයේ හැකරැල්ලෙකු සිට හමු වී ඇති අතර, කිළිනොච්චියේ බේකරියක නිෂ්පාදනය කළ කේක් ගෙඩියක කුකුළු පිහාටුවක් තිබී හමු වී තිබේ.
මේ සියලුම සිදුවීම් මේ මාසය ඇතුළත සිදු වූ සිදුවීම් වූවත් නිලධාරීන් මේ දක්වා එම වෙළෙන්දන්ට හා නිෂ්පාදකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට නොමැත.
උතුරේ වැසියන් පවසා සිටින්නේ තමන්ට දහ ජරාව කවන හෝටල් හා බේකරි තවමත් විවෘතව පවතින බවයි.