Home » නීති අධ්‍යයන සභාවේ ගැසට් පත්‍රය ගැන අවධානය

නීති අධ්‍යයන සභාවේ ගැසට් පත්‍රය ගැන අවධානය

by chanaka
September 1, 2023 11:53 am 0 comment

නීති අධ්‍යයන සභාව විසින් 2023 මැයි 15 වැනි දින නිකුත් කළ අංක 2332/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් පසුගියදා පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය.

ඒ අනුව ගැසට් පත්‍රයේ ඇතුළත් නීති විද්‍යාලයට ඇතුළත් වීමේ අවශ්‍යතා පිළිබඳව කමිටුව විසින් අවධානය යොමු කරන ලදී. මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර නීතිවේදී උපාධිය ලබාගත් හෝ නීතිවේදී උපාධිය සඳහා ලියාපදිංචි වූ සිසුන්ට එමගින් විශාල අසාධාරණයක් සිදුවන බව කමිටුවේ අදහස විය.

අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව 2023.08.23 දින රැස් වූ අවස්ථාවේදී මේ පිළිබදව සාකච්ඡා විය.

සිසුන්ට බර පැටවෙන ආකාරයෙන් නීති විද්‍යාලයේ ගාස්තු ඉහළ නැංවීමේ පදනම කුමක් දැයි කමිටුව ප්‍රශ්න කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ප්‍රකාශ කළේ අනෙකුත් විශ්වවිද්‍යාලවල මෙන් නීති විද්‍යාලය නඩත්තු කිරීමට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොකරන බවත්, අධික වියදම් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙසේ මුදල් අය නොකර නීති විද්‍යාලය තවදුරටත් පවත්වාගෙන යාම අපහසු බවත්ය.

නීති විද්‍යාලයේ සිසුන් මත බර නොපටවා වෘත්තියේ නියැලෙන නීතීඥවරුන්ගෙන් සාමාජික ගාස්තුවක් අයකර ගැනීමේ යෝජනාවක් මෙහිදී සලකා බලන ලදී. මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර සොයා බැලිය යුතු බව කාරක සභා සභාපතිවරයාගේ අදහස විය.

තවද, 2023 ජනවාරි 14 වැනි දින අංක 2314/80 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් කරන ලද නියෝග සහ 2023 අප්‍රේල් 21 වැනි දින අංක 2328/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද නියමය සැලකිල්ලට ගන්නා ලද අතර එය කමිටුව විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, සිසිර ජයකොඩි,අරුන්දික ප්‍රනාන්දු, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිඳු කුමාරතුංග,ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ අශෝක ප්‍රියන්ත යන මහත්වරු මෙම කාරක සභාව සඳහා සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT