හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා රැඳී සිටි නිල නිවසෙන් ඔහු ඉවත් කරන ලෙස අධිකරණය ලබාදුන් නියෝගය යළි සලකා බැලීම සඳහා මේ මස 19 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (31) නොතිසි නිකුත් කළේය.
හිටපු අමාත්‍යවරයාට තවදුරටත් එම නිවසේ රැඳී සිටීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් අධිකරණය හමුවේ මෝසමක් මගින් නීතිඥවරුන් කරන ලද කරුණු දැක්වීම සලකා බලා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.
අධිකරණය විසින් ලබා දී ඇති නියෝගය ඒකපාර්ශ්වික බවත් සිය සේවාදායකයා නීත්‍යනුකූලව නිල නිවසේ රැඳී සිටින බවටත් නීතිඥ ආර්. ඒ. පී. රණවක මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.
සිය සේවාදායකයාට නිවසේ රැඳී සිටීම සඳහා මානව හිමිකම් කොමිසම ලබාදුන් ලිපියක් ද අධිකරණය වෙත ඉදිරිපත් කළ නීතිඥවරයා අමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ගිනි තැබීමට ලක්ව ඇති බවත් මෙම නිල නිවසේ රැඳී සිටීමට සාධාරණ කාලයක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
මෙම නියෝගය දීමට පෙර ද අමාත්‍යවරයා විසින් නිවස සඳහා කුලී මුදල් ගෙවා ඇති බවත් එම මුදල් භාර ගත් රිසිට්පත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් නීතිඥවරයා සඳහන් කළේය.
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නෙරපීමේ නියෝගය යළි සලකා බැලීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත නොතිසි නිකුත් කරමින් නඩුව කැඳවීම මේ මස 19 වන දිනට කල් තැබීය.