Wednesday, April 9, 2025
Home » නිකිණි පෝ දා පිඹුරත්තෑව පන්සලේ බෝධි පූජා කළ හිමි නමට පහර දීලා

නිකිණි පෝ දා පිඹුරත්තෑව පන්සලේ බෝධි පූජා කළ හිමි නමට පහර දීලා

by mahesh
September 1, 2023 12:57 am 0 comment

මනම්පිටිය - නිමල් ජයරත්න

නිකිණි පුර පසළොස්වක් පොහෝදා පිඹුරත්තෑව ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානට බීමතින් කඩාවැදුණු 10කින් යුත් කල්ලියක් එම විහාරස්ථානයේ බෝධි පූජා පවත්වමින් සිටි ස්වාමීන් වහන්සේට මරණ තර්ජනය කර පහර දීමෙන් උන් වහන්සේ සහ තවත් දායකයකු බරපතළ තුවාල ලබා අරලගංවිල රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි.

බරපතළ තුවාල ලබා ඇත්තේ පිඹුරත්තෑව ශ්‍රී සද්ධර්මාරාමය විහාරස්ථානයේ පසුවස්සමාදන් වූ පිඹුරත්තෑව ධම්මරක්ඛිතාලංකාර යන 28 වියැති සාමණේර හිමිනමක හා ඔහුගේ සහෝදරයකු බව පරීක්ෂණ සිදු කරන පොලිසිය සඳහන් කරයි. මෙලෙස කඩාවැදුණු කල්ලිය දේපළවලට හානි කර රුපියල් ලක්ෂයක මුදලක් පැහැරගෙන ගොස් ඇති බවට පිඹුරත්තෑව සිළුමිණිසෑය විහාරාධිපති අම්පාරේ කුසලධම්මාලංකාර නායක ස්වාමීන්වහන්සේ විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද අරලගංවිල පොලිසිය කියයි.

මෙලෙස මරණ තර්ජනය කර පහරදී විහාරස්ථානයේ දේපළවලට හානිකර ඇත්තේ අරලගංවිල පිඹුරත්තෑව ගම්මානයේම පදිංචි තරුණයන් පිරිසක් බවත්, ඔවුන් ගම්මානයෙන් පලාගොස් ඇති බවද අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

මරණ තර්ජනය කිරීම, බියවැද්දීම, දේපළවලට හානි කිරීම, මංකොල්ලකෑම, ඇතුළු චෝදනා කිහිපයක් යටතේ තමන්වහන්සේ අරලගංවිල පොලිසියට පැමිණිලි කර බවත්, මේ සම්බන්ධ වහාම පරීක්ෂණ සිදු කර අදාළ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද පිඹුරත්තෑව සිළුමිණසෑය විහාරාධිපති අම්පාරේ කුසලධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කළහ.

පසුගිය කාලවල තමන් වහන්සේ ඇතුළු සාමණේර භික්ෂූන් වහන්සේලා ප්‍රදේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍යවලට විරුද්ධව තදින් ක්‍රියාත්මක වූ බවත්, මෙම ගම්මානයේ තරුණයන් කිහිප දෙනකු මත්ද්‍රව්‍යවලට ගොදුරු වී ඔවුන් ප්‍රසිද්ධියේ ස්වාමීන් වහන්සේට සහ දායක කාරකාදීන්ට පහර දී දේපොළවලට අලාභ හානි කර මංකොල්ලකෑම බරපතළ සිද්ධියක් බවද නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළහ.

බීමතින් විහාරස්ථානයට පැන කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සියලු දෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, ඔවුන් ඉතා කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති (ප්‍ර.පො.ප) ඉඳුනිල් හේමපාල මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT