Sunday, April 20, 2025
Home » පාසල් 100ක ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංගම් 
සිසුන්ට කොටස් වෙළෙඳ පොළ-සුරැකුම්පත් ගැන දැනුම දෙන්න

පාසල් 100ක ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංගම් 

by mahesh
September 1, 2023 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

– මිලියන 10ක් වෙන් කරයි
– මහ බැංකු වාර්තා පාසල්වලට
– අප එක තැන කැරකුණොත් ලෝකය අප පසු කර ඉදිරියට යනවා
මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේ සමාරම්භක උත්සවයේදී ජනපති කියයි

රටේ අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් සහ මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගැන්වීම සඳහා පාසල් 100ක ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංගම් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේ ඊයේ (31) පැවති තෝරාගත් පාසල් 100ක ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංගම් පිහිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

පාසල් සිසුන් අතර කොටස් වෙළෙඳ පොළ පිළිබඳ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, සුරැකුම් හා විනිමය කොමිෂන් සභාව හා කොළඹ කොටස් හුවමාරුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් එම්.එම්. රණසිංහ, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස්, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරුන් අත්සන් තැබූහ.

නුගවෙල මධ්‍ය විද්‍යාලයේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංගමය පිහිටුවීමට අදාළ වරලත් සහතික පත්‍රය සහ රුපියල් ලක්ෂයක මුදල මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විදුහල්පති ධම්මික බණ්ඩාර මහතා වෙත පිළිගැන්වීය. එසේම ‘ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංගම්’ පිහිටුවීමට අදාළ දැනුම සම්පාදනය කෙරෙන ග්‍රන්ථ කට්ටලය ද ජනාධිපතිවරයා විෂයභාර ආචාරිණිය වන අචිනි කණිටිවෙල මහත්මිය වෙත භාර දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

මේ සඳහා රුපියල් මිලියන 10ක් වෙන් කර තිබෙනවා. නව ආර්ථික ක්‍රමවේද සමඟ 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ දී නව ක්‍රමවේද සමඟ යා යුතුයි. ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා ගුරුවරුන්ට හා ශිෂ්‍ය නායකයන්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

‘අප එක තැන කැරකුණොත් ලෝකය අප පසුකරගෙන යනවා, යනුවෙන් අධ්‍යාපන ඇමැතිවරයා සිය කතාවේදී ගීත කොටසක් උපුටා දැක්වූවා. ඒ බව මතකයේ තබා ගෙන කටයුතු කරන නිසා අද අප මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

අප නැවත රටක් ලෙස අගාධයට නොවැටී ඉදිරියට යන්නේ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි. 20 වැනි ශත වර්ෂයේ මැද භාගයේ අනුගමනය කළ ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යනවාද? එසේ නොමැති නම් අලුතින් සිතා අලුත් ගමනක් යනවාද කියා තීරණය කළ යුතුයි. අප පැරණි ක්‍රමයට අනුව ඉදිරියට ගියහොත් අපට එක තැන කැරකෙන්නවත් රටක් නැති වෙනවා. මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින පරපුරට එවැනි තත්ත්වයකට මුහුණදීමට අප ඉඩ නොතබන බව කිව යුතුයි. එසේ නම් අප තාක්ෂණය සමඟ අලුත් ගමනක් යා යුතුයි.

අප මෙම වෙනස සමඟ ඉදිරියට යන විට නවීන තාක්ෂණය රටට ගෙන ආ යුතුයි. ඒ සඳහා අප විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය සහ පර්යේෂණ ආයතන එම කටයුතු කරගෙන යනවා. ඒ අනුව රටට හඳුන්වා දෙන නව තාක්ෂණ ක්‍රමවේද අප තීරණය කළ යුතුව තිබෙනවා. බ්ලොක්චේන් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, ජෙනොම් විද්‍යාව මේ සියල්ල සමඟ අප ඉදිරියට යා යුතුයි.

ඒ වගේම මෙම තාක්ෂණය ගමට ගෙන යා යුතුයි. අප කෘෂිකර්ම නවීකරණ වැඩසටහන හඳුන්වා දෙන්නේ නව තාක්ෂණය නිවසටම ගෙන යෑම සඳහායි. නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යෑමේදී අප තව කරුණක් සිහියේ තබා ගත යුතුයි. තාක්ෂණය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ සියලු කටයුතු සඳහා මුදල් අවශ්‍ය වෙනවා. අප මුදල් පරිහරණය කරන සමාජයක්. ඒ වගේම අද එම මුදල් පරිහරණය කරන්නේ ඉතා විවෘත වෙළෙඳ පොළක. මුදල් පරිහරණය අද ආණ්ඩුවකට පාලනය කරන්න බැහැ. අමෙරිකන් ආණ්ඩුවට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටවත් එය සිදු කළ නොහැකියි. ලංකාවට අන්තර්ජාලය ලබා ගැනීම සඳහා මා අත්සන් තැබුවේ 1993 වස‍ෙර්දී. ඒ වනතුරු මෙම කිසිදු පහසුකමක් අපට තිබුණේ නැහැ.

තරඟකාරි ආර්ථිකය තුළ දේශ සීමා පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොමැති මූල්‍ය ක්‍රමයක් තිබෙනවා. මෙය හොඳ හෝ නරක වුවත් අපට එය වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. අප මෙම සීමාවේ සිට කටයුතු කළ යුතුයි. ලෝකයට අවශ්‍ය මුදල් අවසානයේ වෙළෙඳ පොළෙන් ලබා ගන්නවා. බැංකුවලට අවශ්‍ය මුදල් බැංකුවලින් ලබා ගන්නවා. සමාගම්වලට අවශ්‍ය මුදල් කොටස් වෙළෙඳ පොළෙන් ලබා ගන්නවා. ඒ අනුව මුදල් පරිහරණය සිදු වෙනවා.

මෙහි වැදගත්ම කරුණ වන්නේ මුදල්. පෞද්ගලික අංශය වගේම රජයත් තෝරාගනු ලබන්නේ මුදල් වෙළෙඳ පොළයි. ඒ වගේම මහා භාණ්ඩාගාර බැඳුම්කර ලබා ගන්නවා. අප උත්සාහ කරන්නේ මෙම ක්‍රමවේදය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. අද අප මේ ආරම්භ කරන්නේ එහි එක කොටසක් පමණයි.

ලබන වසරේ සිට මහ බැංකු වාර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරනවා. ඒ සඳහා ගුරුවරු වගේම ශිෂ්‍ය නායකයන් පුහුණු කිරීම මෙන්ම බැංකු නිලධාරින්ගේ සහාය ලබා ගැනීමට ද කටයුතු කරනවා. නවීන ක්‍රමවේද පිළිබඳව අප දැනුවත් විය යුතුයි. දැනුම ලබාදීම පමණක් නොවෙයි මුදල් පරිහරණය, සුරැකුම්පත් මේ සියල්ල ගමට ගෙන යා යුතුයි. ගමේ දක්ෂ පිරිසක් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දිය යුතුයි.

අද ලෝකය එක වෙළෙඳ පොළක්. ඒ සමඟ අප ද එක්විය යුතුයි. ඒ සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් ගණනාවකට අප අත්සන් තබනවා. සිංගප්පූරුව සමඟ මෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව, චීනය, මැලේෂියාව, වියට්නාමය සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. ජපානය වගේම නැගෙනහිර ආසියාව, අග්නිදිග ආසියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය යන රටවල් සමඟ නව වෙළෙඳ පොළට ප්‍රවේශ වීමට අපේක්ෂා කරනවා.

පහසුකම් ලබා ගැනීම පිළිබඳ අප යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කරනවා. තව සති දෙකකින් අමෙරිකාවේ කණ්ඩායමක් අප සමඟ සාකච්ඡා කිරීමට මෙරටට පැමිණෙනවා. එසේ නම් ගෝලීය වෙළෙඳ පොළ සහ එම ගිවිසුම් පිළිබඳව අප දැනුවත් විය යුතුයි.

අප ගොඩනඟන නව ආර්ථිකය හරිත ආර්ථිකයක්. ඒ වගේම ඩිජිටල් ආර්ථිකයෙත්, හරිත ආර්ථිකයෙත් සුරැකුම්පත් තිබෙනවා. එසේ නම් මෙහි තිබෙන්නේ නව ක්‍රමවේදයක්. මේ සමඟ අක්වෙරළ ආර්ථිකයක් පිළිබඳව ද අප අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳවත් දැන් ලන්ඩන් නුවර විශේෂ නීතිඥ සංගම් සමඟ සාකච්ඡා කරමින් එම නීති සකසමින් තිබෙනවා. අප මෙම නව ආර්ථික ක්‍රම සමඟ ඉදිරියට යනවා ද, නැත්නම් අගාධයේම සිටිනවා ද කියා තීරණය කළ යුතුයි.

තව වසර 10-15ක් යන විට මෙහි සිටින බොහෝ දෙනෙක් වයස අවුරුදු 25- 35ක් අතර පිරිසක් වෙනවා. ඒ නිසා අද ඔබ තමන්ගේ අනාගතය පිළිබඳ තීරණය කළ යුතුයි. අවශ්‍ය දැනුම අප ලබා දෙනවා. අත්හදා බැලීම ඔබ කළ යුතුයි. එම වැඩසටහන තමයි අද මෙලෙස ආරම්භ කර තිබෙන්නේ.

මෙම වැඩසටහන සඳහා දැනට පාසල් 100ක් තෝරගෙන තිබෙනවා. පසුව එම සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. කොටස් වෙළෙඳ පොළට, මේ සමඟ තවදුරටත් සම්බන්ධ වෙන්න සුරැකුම්පත් විනිමය කොමිෂමට හැකියාවක් තිබෙනවා නම් මා එය අගය කරනවා. මෙම සංගමයක්, දෙකක් භාරගෙන එම සහාය ලබා දෙන්න කියා මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 10ක් ලබා දී තිබෙනවා. ඒ අනුව සෑම පාසලකටම රුපියල් ලක්ෂය බැගින් හිමි වෙනවා. ඒ හැර වෙන කිසිදු මුදලක් මේ සඳහා යොදවන්න එපා කියා මා ඉල්ලා සිටිනවා. මෙය ලක්ෂයකට සීමා කරන්න. මෙය ආරම්භ කර වසරක් ගතවීමෙන් පසු කුමන පාසලද මෙම වැඩසටහන සාර්ථකවම ක්‍රියාත්මක කර තිබෙන්නේ කියා සොයා බලනවා.

වැඩසටහන සාර්ථකවම ක්‍රියාත්මක කළ පාසලේ ශිෂ්‍යයන් 10 දෙනෙක්ට සහ විෂයභාර ගුරුවරයාට සිංගප්පූරුවේ කොටස් වෙළෙඳ පොළ පිළිබඳ දින කිහිපයක අධ්‍යයනයක් කිරීමට සිංගප්පූරු සංචාරයක් ලබා දීමට කටයුතු කරනවා.

ඒ නිසයි මෙම මුදල ලක්ෂයකට සීමා කරන ලෙස දැනුම් දුන්නේ. දුප්පත් ප්‍රදේශයක වුවත්, දියුණු ප්‍රදේශයක වුවත් එම වියදම ලක්ෂයකට සීමා වෙනවා. ඒ වගේම දෙවැනි, තුන්වැනි ස්ථානවලටත් අවස්ථා ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මේ සමඟ නව ආර්ථිකය ගමට ගෙන යාම සිදු වෙනවා. ඒ වගේම මෙම අභියෝගය ඔබට භාරදෙන්නේ 2048 දියුණු රටක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළෙහි කොටසක් ලෙසයි. ඊට දායකවෙමින් මෙය සංවිධානය කළ සියලු දෙනාටම මා ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම අද මෙම නුගවෙල විද්‍යාලයට පැමිණෙන විට මට සිහිපත් වූ තවත් කරුණක් තිබෙනවා. එදා මධ්‍ය විද්‍යාල සංකල්පය ඉදිරිපත් කර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එය සම්මත කර ගනු ලැබුවේ එවකට අධ්‍යාපන ඇමැති සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමායි. එහි ප්‍රතිඵලයක් ලෙස හොරණ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයෙන් එතුමාව පරාජයට පත් කළා.

එය තමයි අධ්‍යාපන ඇමැතිවරුන්ට මුහුණදීමට සිදුවන තත්ත්වය. ඒ වෙනුවට ඊළඟ ආණ්ඩුවේ ඩී.එස්. සේනානායක අගමැතිවරයාව තෝරා පත් කර ගත්තා. ඒ.ඩී. නුගවෙල මැතිතුමාව අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත් කර ගනු ලැබුවා. එතුමා මෙම මධ්‍ය විද්‍යාල 50 නිර්මාණය කිරීමට දායක වුණා. මෙම නුගවෙල මධ්‍ය විද්‍යාලයට අමතරව තවත් පාසල් 49ක් ඇති කිරීම පිළිබඳව එතුමාට අප ස්තූතිවන්ත වෙනවා. එතුමා ඇති කළ පාසලකින් මෙම නව වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා.

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා-

1999 වසරේ අමෙරිකා එක්සත් ජනපදය සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් වසර 2003 වන විට STEM අධ්‍යාපනය හඳුන්වා දෙනු ලැබුවා. මේ වන විට ලොවපුරා රටවල් සියයක් එම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කරනවා. අපත් දැන් එම ක්‍රමය ආරම්භ කර තිබෙනවා. ඉන්පසුව ඊට තවත් අක්ෂරයක් එක් වුණා. ඒ අනුව STEAM අධ්‍යාපනය ලෙස ඊට වාණිජ, කලා සහ සෞන්දර්ය වැනි විෂයන් ද ඇතුළත් කර තිබෙනවා.

මෙම ඕනෑම අධ්‍යාපන ක්‍රමයක් න්‍යායාත්මකව පන්ති කාමරයේ සාර්ථක වුවත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳ ගැටලු මතු වෙනවා. සිසු දරුවන් බොහෝමයකට චෙක්පත්, විනිමය බිල්පත් වැනි දේ පිළිබඳ අවබෝධයක් නැහැ. ලංකාවේ වාණිජ බැංකු කොතෙක් තිබුණත් වාණිජ විෂය ධාරව හදාරන දරුවා බැංකුවකට ගොස් එහි කටයුතු සිදුවන ආකාරය අත්දකින්නේ නැහැ. අවම වශයෙන් චක්‍ර ලේඛනයක්වත් දැක නැහැ. ප්‍රාග්ධන වෙළඳ පොළ සීමිත පිරිසකට සීමා වෙලා. අද ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් පාසලෙන් එළියට යන දරුවන්ට ආයෝජකයන් ලෙස ඉහළ දැනුමක් සහිතව කටයුතු කිරීමට අවස්ථාව හිමි වෙනවා.

තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර මහතා –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ඇති කරන පාසල් ප්‍රාග්ධන වෙළෙඳ සමාජ පිහිටුවීමට උසස් පෙළ ප්‍රතිඵල අනුව වාණිජ අංශයේ හොඳම ප්‍රතිඵල ලබාගත් හොඳම පාසල් 100ක් තෝරාගෙන අද එම වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

කොටස් වෙළෙඳ පොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා –

ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව අද ආරම්භ කෙරෙන ප්‍රාග්ධන වෙළෙඳ පොළ සමාජ සියය සඳහා ජාතික ආයතන හතරක් එක්වීමෙන් එහි ඇති වැදගත්කම පිළිබිඹු වෙනවා. මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ වන පිරිස වැඩි කිරීමටත්, අධ්‍යාපනික හවුල්කාරීත්ව ඇති කිරීමටත්, මූල්‍ය අධ්‍යාපනික සන්නාම ඇති කිරීමටත් අපට අවශ්‍යයි. මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමෙන් ඊට මුල් පියවර තබනවා.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ෆයිසාල් සලේ මහතා –

ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ කටයුතු කිරීමේදී මූල්‍ය සාක්ෂරතාවය ඉතා වැදගත්. කලාපයේ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ සලකා බැලීමේ දී දැනුමේ අඩුවක් තිබෙනවා. මුදල් භාවිතය පිළිබඳ දැනුමක් ලබාදීමට මෙම ප්‍රාග්ධන සමාජ පිහිටුවීම තුළින් පාසල තුළදීම දරුවාට අවබෝධයක් ලබා ගැනීමට හැකිවෙනවා. ඒ වගේම දරුවන් තුළ මේ පිළිබඳ උනන්දුවක් ඇති වෙනවා. පාසල්වල 6 වැනි ශ්‍රේණියේ දරුවන්ගේ සිට ඉහළට දරුවන්ට මෙම දැනුම ලබාදීමට සැලසුම් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමිය කොමිෂන් සභාව මේ සඳහා ඍජු දායකත්වය සපයනවා. පාසල් සිසුන් සඳහා මේ පිළිබඳ සම්මන්ත්‍රණ ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. පාසලේ විෂය නිර්දේශ සංශෝධනයේදී මෙම විෂයත් ඇතුළත් කිරීමට ජනාධිපතිවරයාගේ හා අධ්‍යාපන ඇමැතිවරයාගේ සහාය අප බලාපොරොත්තු වෙනවා.

විද්‍යාලයේ චිත්‍ර කලා ප්‍රධාන ආචාරිණි නයනා විජේකෝන් මහත්මිය විසින් සිතුවමට නඟන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව සහිත සිතුවමක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය ඇමැතිවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිල්ශාන් වීරසේකර යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් ද, විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT