“නැඟෙනහිර පළාත ඇතුළු දිවයිනේ සියලුම පළාත්වල සංවර්ධනය ඇනහිට තිබෙන්නේ විදේශීය ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කරගන්නා තුරුය යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
“කවර නායකයකු යටතේ, කවර රජයක් බලයට පත් වුවත් වසර 2048 වනතුරු ණය ගෙවීම පිළිබඳ අර්බුදයෙන් ගැලවීමක් නැහැ යැයිද හෙතෙම සඳහන් කෙළේය.
මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අවස්ථාවේ ඊට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්‍රයට අදාළව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ ඇමැතිවරයා විසින් එහිදී පැහැදිලි කිරීම් සිදුකරන ලද අතර දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ ද පැහැදිලි කිරීමක් සිදුවිය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
” තිස් වසරක යුද තත්වයෙන් බිඳ වැටුණු උතුරු නැඟෙනහිර පළාත් සංවර්ධනය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ උතුරු වසන්තය සහ නැඟෙනහිර උදානය වැනි ව්‍යාපෘතිවලට අති විශාල මුදල් ප්‍රමාණයක් රජය වියදම්කර තිබෙනවා. මෙය ණය හා ආධාර ලෙස ලබාගෙන තිබෙනවා.
රටක් ලෙස අප ලබාගත් විදේශ ණය මෙතෙක් පියවා නොමැති වීම හේතුවෙන් මේ වනවිට විශාල ණය අර්බුදයකට මුහුණ පා තිබෙනවා. විදේශ ණය ගෙවීම් ප්‍රතිව්‍යුවගත කරන තුරු රටට කිසිදු විදේශ ණය ආධාරයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. නැඟෙනහිර පළාත ඇතුළුව දිවයිනේ සෑම ප්‍රදේශයකම සංවර්ධන කටයුතු මේ වන විට ඇණහිට තිබෙනවා. අපේ අමාත්‍යාංශයට අදාළ මංමාවත් සංවර්ධනය ඇතුළු සියලු සංවර්ධන කටයුතු සිදු කළ හැකි වන්නේ රටට නැවතත් විදේශ ණය ආධාර ලබා ගැනීමට හැකි වුවහොත් පමණයි. ඒ සඳහා කිසිදු දේශපාලන විසඳුමක් නැහැ. රටක් වශයෙන් අප ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 36ක පමණ ණය ප්‍රමාණය 2048 වසර දක්වාම ගෙවීම් සිදු කළ යුතුම වනවා. කවර නායකයකු යටතේ, කවර රජයක් බලයට පත් වුවත් ණය ගෙවීම පිළිබඳ අර්බුදයෙන් ගැලවීමක් නැහැ.
ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ රජය, විදේශීය මිත්‍ර රජයන්, ජාත්‍යන්තර ආයතන හා ඒකාබද්ධව සිදු කරගෙන යන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමෙන් අනතුරුව නැවත වතාවක් සංවර්ධනයේ අරුණලු රටට උදා වනු ඇති බව මා විශ්වාස කරනවා. ඒ අවස්ථාවේ දී දකුණු පළාතට මෙන්ම උතුරු-නැඟෙනහිර පළාත්වලටත් විශේෂ ප්‍රමුඛතාවක් දෙමින් නතර වී ඇති සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කිරීමට මා කැමැතියි.
එතෙක් පවතින සංවර්ධන කටයුතු කිරීමට ආසියානු සංවර්ධන බැංකුව මගින් රුපියල් බිලියන 3.9ක ණය ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. ඇමැතිවරයා ලෙස මට හෝ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හෝ වෙනත් මැති ඇමැතිවරයකුට අවශ්‍ය මාර්ග එම මුදල්වලින් සංවර්ධනය කිරීමට හැකියාවක් නැහැ. එම අරමුදල් යොදා ගනිමින් සංවර්ධනය කිරීමට හැකි වන්නේ ආසියානු සංවර්ධන බැංකුව විසින් තෝරා ගන්නා ලද මාර්ග පමණයි.
එමෙන්ම දිගින් දිගටම විශාල වශයෙන් පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව ලාභදායී තත්ත්වයට පත් කිරීම සඳහා ඌන උපයෝජිත ඉඩම් ඇතුළු වත්කම් කළමනාකරණය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. නැඟෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල දුම්රිය සතු ඉඩම් අනවසරයෙන් භුක්ති විඳීම දක්නට ලැබෙනවා. මේ සඳහා අයවිය යුතු බදු මුදල් නිසි ආකාරයෙන් අයකර ගැනීම සහ විනිවිද පෙනෙන ආකාරයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා දිගුකාලීනව බදුදීම තුළින් පළාතේ දියුණුවක් ඇති කිරීමට රජය සුදානම්.
මඩකළපුවේ සිට යාපනය දක්වා නව දුම්රියක් යොදවන ලෙස ද විශාල ඉල්ලුමක් පවතිනවා. ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කරමින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉදිරියේදී දුම්රිය කිහිපයක් මෙරටට ලබා ගැනීමේ සාකච්ඡා සිදුවෙමින් පවතිනවා.එම සාකච්ඡා සාර්ථක වුවහොත් ඉදිරි වසර තුළ මෙම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම ද ඉටු කිරීමට හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා.
මේ සියලු අරමුණු සාර්ථක කර ගැනීම සඳහා පවතින තත්ත්වයන් පිළිබඳ ද නිසි අවබෝධයකින් යුක්තව සියලු දෙනා එක්ව කටයුතු කිරීම අවශ්‍ය වනවා.”
නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා, මඩකළපු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරම් මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරීන්,මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.