යුද සමයේ සිට උතුරු නැඟෙනහිර පළාත්වල රජයේ පාසල්වල සේවය කරන ස්වේච්ඡා ගුරුවරු 249කගේ සේවය වහාම ස්ථිර කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පෙරේදා(30) යාපනයේදී පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ සිය සේවය ස්ථිර කර දෙන ලෙස ඉල්ලා සිටීමට උතුරු නැඟෙනහිර ස්වේච්ඡා ගුරු සංගමයේ නියෝජිතයන් පිරිසක් ඇමැතිවරයා හමුවීමට ගිය අවස්ථාවේදීය.
උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා එම සංගමය ගත වූ කාලයේ විරෝධතා උද්ඝෝෂණ හා උපවාස 289ක් උතුරු නැඟෙනහිර ප්‍රදේශ පුරා පවත්වා තිබේ.
යුද සමයේදී හා ඉන් පසුව උතුරු නැඟෙනහිර පාසල්වලට පැමිණීමට දකුණේ විශාල පිරිසක් අකැමැති වීම හේතුවෙන් මේ පළාත්වල සේවය කිරීමට පළාතේ සුදුසුකම් ඇති පිරිසක් ස්වේච්ඡා ගුරුවරු වශයෙන් බඳවා ගන්නා ලදි. මේ අයුරින් උතුරු ප්‍රදේශයේ ස්වේච්ඡා ගුරුවරු 62ක්ද නැඟෙනහිර පළාතේ ස්වේච්ඡා ගුරුවරු 187ක්ද සේවය කරන අතර ඔවුන්ගෙන් ඇතැමකුගේ සේවා කාලය අවුරුදු 15ද ඉක්මවා තිබේ.