බෞද්ධාගම ඇතුළු ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කළ බව කියන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සීමිත විරෝධතා ගොනු කළ බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (31) දන්වා සිටියේය. කරුණු සලකා බැලීම සඳහා මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මේ බව සඳහන් කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ඒ.එම්. ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
මෙම පෙත්සමට අදාළව ගොනුකළ සීමිත විරෝධතාවලට එරෙහිව ප්‍රතිවිරෝධතා ගොනු කර ඇති බව දැන ගැනීමට ඇති නමුත් එම ප්‍රතිවිරෝධතා නීතිපති දෙපාර්තමේන්තුවට මෙතෙක් ලැබී නැති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කළේය.
මෙම පෙත්සමට අදාළ විරෝධතා අවසන් මොහොතේ ගොනු කර ඇති අතර, ඊට ප්‍රතිවිරෝධතා කඩිනමින් ගොනු කිරීමට සිදුවූ බවත් එහි පිටපත් නීතිපති දෙපාර්තුමේන්තුවට ලැබීමට සලස්වන බවත් පෙත්සම්කාර දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා සඳහන් කළේය.
ප්‍රතිවිරෝධතා අධ්‍යයනය කිරීම සඳහා කල් අවශ්‍ය බැවින් මෙම පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර,
ඒ අනුව සැප්තැම්බර් මස විසිඑක් වෙනිදා මෙම පෙත්සම කරුණු සලකා බැලීම සඳහා කැඳවීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.
පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.