සයිටම් පුද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව පසුගිය 2015 වසරේ පැවති උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් පැවති නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී නොසිටි රත්කරව්වේ ජිනරතන හිමියන් ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (31) නියෝග කළේය. සැකකරුවන් මීට පෙර ඇප මත මුදාහැර තිබිණි. නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි සැකකාර හිමිනම ඇතුළු සිවුදෙනාට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ලබන දෙසැම්බර් මස 7 වනදා නඩුව යළි කැඳවන ලෙස නියෝග කළ අතර, එදිනට පෙනී නොසිටින සැකකරුවන් සියලු දෙනා නඩුව අවසන් වනතුරු ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කරන බව අවවාද කරමින් දන්වා සිටියේය.
නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙක් වීම, එලෙස උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් නිදහසේ ගමන් බිමන් යන පුද්ගලයන්ට අයුතු අවහිරය කිරීම, උද්ඝෝෂණය නවතාලීමට ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් දැනුවත් කළ පොලිස් නිලධාරීන්ට අයුතු අවහිරය පෑම ඇතුළු චෝදනා යටතේ ඇප මත මුදා හැර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර, භික්ෂු බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ටැම්පිටියේ සුගතාන්නද හිමියන් ඇතුළු ඇප මත මුදා හැර ඇති සැකකරුවෝ පිරිසක් නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියහ. මෙම නඩුවේ ඇප මත මුදා හැර ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ මහනුවර ජාතික රෝහලේ වකුගඩු සම්බන්ධ ජාත්‍යන්තර පර්යේෂණ අංශයේ රැකියාවේ නියුතු මලින්ද හේවාවිතාරණ යන අය අවවාද කොට එම නඩුවෙන් මුදා හැරීමට නියෝග කර ඇත.