Home » කොළඹ පෞද්ගලික රෝහලේ රෝගීන්ට දෙන වට්ටම වංචා කළ ලොක්කෝ 7 දැලේ

කොළඹ පෞද්ගලික රෝහලේ රෝගීන්ට දෙන වට්ටම වංචා කළ ලොක්කෝ 7 දැලේ

by mahesh
September 1, 2023 1:09 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සිදු වී යැයි කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාව සම්බන්ධයෙන් හිටපු ගණකාධිකාරි හා සහකාර ගණකාධිකාරිවරිය ඇතුළු හත්දෙනකු ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගෙන් අයකරගන්නා ලක්ෂ ගණන් මුදල්වලට රෝහලෙන් ලබා දෙන 20% ක විශේෂ වට්ටම් මුදල මෙලෙස එම රෝහලේ ගිණුම් අංශයේ හිටපු ගණකාධිකාරිවරයා ඇතුළු හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් වංචා සහගත ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඉකුත් කාලය පුරා විමර්ශන පැවැත්වීය. එම වංචාව සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය රෝගීන් විශාල ප්‍රමාණයක් ඇතුළු දෙසියයක් පමණ දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. යම් රෝගියෙක් ප්‍රතිකාර සඳහා රෝහලේ නේවාසිකව සිට පිටවී යන අවස්ථාවේ ඒ වෙනුවෙන් රෝහලට ගෙවිය යුතු සම්පූර්ණ බිල ගෙවිම සිදු කළ යුතු අතර, රෝහලෙන් ලබාදෙන විශේෂ වට්ටම ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළ පසුව එය ලබාදීම එම රෝහලේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන බව ආරංචි මාර්ග කියයි. එම විශේෂ වට්ටම පිළිබඳ බහුතරයක් රෝගීන්ගේ නොදැනුවත්භාවය ප්‍රයෝජනයට ගෙන ගිණුම් අංශයේ ගණකාධිකාරිවරයා ඇතුළු හත්දෙනෙකුගෙන් යුත් පිරිසක් රෝහලේ නේවාසිකව සිටි රෝගියා හෝ සමීප ඥාතියා එම විශේෂ වට්ටම ඉල්ලා ඉදිරිපත් කළ ලිපියක් ආකාරයෙන් කූට ලේඛන සකසා වසර ගණනාවක සිට මෙම මුදල් වංචාව සිදුකර ඇතැයි මේ වන විට අනාවරණය වී ඇත.

විශේෂ වූ වට්ටම් මුදල් ලබාදී ඇත්තේ පෙටි කෑෂ් (සුළු වියදම් සඳහා වෙන්කර තිබෙන මුදල්) මුදල්වලිනි. එම වංචාව සම්බන්ධයෙන් අනාවරණය වූ සැණින් ගිණුම් අංශයේ ගණකාධිකාරිවරයා ඇතුළුව පුද්ගලයින් 7 දෙනෙකු සේවයෙන් ඉවත් කර අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබිණි.

සැකකරුවන් සහ සැකකාරියක් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අත්අඩංගුවට පත්වූවෝ කඳාන සහ රාගම අවට පදිංචිකරුවෝය. සැකකරුවන් අද 1 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT