ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මඟින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය මෙවර පැවැත්වෙන්නේ දාහතර වැනි වරටයි. ලොව අන් කවර රටකටත් වඩා සාහිත්‍යය කෙරෙහි විශේෂ අවධානයක් යොමු වුවද සාහිත්‍යය හා සාහිත්‍යකරුවන් ඇගැයීම ශ්‍රී ලාංකේය සමාජයේ දුලබ කරුණකි. සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීම සුළුපටු කාර්යයක් නොවේ. ස්වකීය අනුභූතිය නිර්මාණයක් බවට පත්කොට පාඨක ප්‍රජාව වෙත දායාද කිරීම අතිශය අසීරු කාර්යයකි.
“විද්වානෙව විජානාති විද්වජ්ජන පරිශ්‍රමම් – න හි වන්ධ්‍යා විජානාති ගුර්විං ප්‍රශව වේදනාම්”
යථෝක්ත සංස්කෘත ශ්ලෝකයේ දැක්වෙන පරිදි වඳ ස්ත්‍රියක් දරු ප්‍රසූතියකදී ඇතිවන ප්‍රසව වේදනාව නොදන්නා සේ සාහිත්‍ය/ ශාස්ත්‍රීය නිර්මාණයක් කිරීමේ අසීරුකම දන්නේ එබඳු නිර්මාණ / සාහිත්‍යකරුවෙකුමය. අන් අයට එහි අසීරුතාව නොදැනේ. සාහිත්‍යකරුවන් විනෝදය, විවේකය පිණිස සාහිත්‍ය නිර්මාණකරණයේ නියැළෙයි. සාහිත්‍යය, සංගීතය, කලාව යන අංග නොමැති තැනැත්තා මිනිසෙකු වුවද තිරිසන්ගත සතකු හා සාමානයැ’යි පැරණි කියමනක් පවතී. ‘සාහිත්‍ය සංගීත කලා විහීනඃ සාක්ෂාත් පශුඃ පුච්ඡ විෂාණ හීනඃ’ සමාජයේ යහපත් සදාචාර සම්පන්න මිනිස් සමාජයක් බිහි කිරීම සඳහා සාහිත්‍යය, සංගීතය, කලාව සමාජගත කළ යුතු අතර මානව හිතකාමී ජන සමාජයක් බිහි කළ හැක්කේ ඒ මඟින් පමණි. එසේ කිරීමට නම්, නිර්මාණකරුවන් නිති ඇගැයීමට පාත්‍ර කළ යුතුය.
සාහිත්‍යකරුවන් ඇගැයීම වස් සම්මාන පිරිනැමීම පෙර රජ දරුවන් පවා සිදු කොට ඇත්තේ සාහිත්‍ය කලාව මඟින් සමාජ පාලනය විෂයයෙහි මහඟු පිටිවහලක් ලැබෙන බැවිනි. එබඳු සාහිත්‍යකරුවන් තව තවත් දිරිමත්කොට සාහිත්‍යකරණයට යොමු කිරීම විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රමුඛතම අරමුණ වී ඇත.
සෑම වර්ෂයකම සාහිත්‍ය මාසයේ පළමු දිනයෙහිම සිදු කරන වසරේ පළමු සම්මාන ප්‍රදානෝත්සවය නිසාම විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇත. එලෙස ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් මඟින් පවත්වනු ලබන ප්‍රථම හා එකම සම්මාන උලෙළ වීමද තවත් සාධකයකි. සාහිත්‍ය සම්මාන උලෙළක් පැවැත්වීම අන් කවර උලෙළකටත් වඩා අසීරු වන්නේ ඒ සඳහා විශාල කාලයක් හා ශ්‍රමයක් කැප කිරීමට සිදු වන බැවිනි. සෑම වර්ෂයකම වර්ෂාරම්භයේ ග්‍රන්ථ ලබා ගැනීම සඳහා දැන්වීම් පළ කිරීමෙන් ඇරඹෙන මෙය මාස නවයක් පුරාම අතිශය අසීරු පියවර කිහිපයක් යටතේ සිදු කරනු ලබයි. ගේය පද, කාව්‍ය සංග්‍රහ, තීරු ලිපි, කෙටිකතා හා නවකතා යන නිර්මාණ ක්ෂේත්‍ර පහ මෙන්ම මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා විෂය ක්ෂේත්‍රවලට අදාළ වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය තෝරා සම්මාන පිරිනැමීම මෙහිලා සිදුවේ. එක් එක් ක්ෂේත්‍රයට ලැබෙන සිය ගණනක් ග්‍රන්ථ ඒ ඒ ක්ෂේත්‍රයට අදාළව විධිමත්ව සකසන ලද නිර්ණායක අනුව වට තුනක් ඔස්සේ කියවා අවසන් වටයට නිර්දේශිත කෘති තෝරා ගනු ලබයි. මෙබඳු අතිශය තරගකාරී හා විධිමත් ඇගැයීම් ක්‍රියාවලියක් අනුගමනය කිරීම මෙන්ම මේ සඳහා විශ්වවිද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ගේ පටන් තාවකාලික සහකාර කථිකාචාර්යවරුන් දක්වා අධ්‍යයන කාර්ය මණ්ඩලය පමණක් නිරතවීම විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ සුවිශේෂත්වයකි. සාහිත්‍ය කෘති කියැවීමෙන් රස විඳීම පුද්ගලබද්ධ කාර්යයක් වුවද මෙම සම්මාන උලෙළේදී එක් කෘතියක් අවම වශයෙන් තිදෙනෙකු හෝ සිවු දෙනෙකු විසින් කියවනු ලැබීම නිසා වඩාත් ප්‍රශස්ත නිර්මාණය ඇගැයීමට බඳුන් කිරීමට හැකියාව ලැබී ඇත.
සාහිත්‍ය චක්‍රවර්ති වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් හා හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වැනි ලක්දිව පහළ වූ අද්විතීය සාහිත්‍යධරයන් විසින් ඇරඹි එවකට විද්‍යෝදය නමින් හැඳින්වූ අප විශ්වවිද්‍යාලයට සාහිත්‍ය ක්ෂේත්‍රය රැක ගැනීමේ මහඟු වගකීමක් පවතී. එම වගකීමේ අද්‍යතන පුරෝගාමීන් වශයෙන් වත්මන් අධ්‍යයන කාර්ය මණ්ඩලය නිස්සරණාධ්‍යාසයෙන් සිදු කරනු ලබන කාර්යය අතිශයින් ප්‍රශංසනීයය. දහසකුත් එකක් රාජකාරි අතරේ නිදි වර්ජිතව පිටු දහස් ගණන් සාහිත්‍ය ග්‍රන්ථ කියවා ඇගැයීම් කාර්යයේ නිරත වන්නේ අන්‍ය සම්මාන උලෙළවල මෙන් කිසිදු ආර්ථික ලාභයක් නොමැතිවය. එබැවින් ඔවුන්ගේ සේවය අගය කළ යුතුමය.
මෙවර සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී ප්‍රකාශන ආයතන ඇගැයීමට ද අපගේ අවධානය යොමු විය. එහිලා විශ්වවිද්‍යාලයට නොමිලේම විශාල පොත් ප්‍රමාණයක් පරිත්‍යාග වශයෙන් ලබා දුන් සරසවි ප්‍රකාශන ආයතනය රන් සන්නාමයෙන්ද, දෙවනුව වැඩිම පොත් ප්‍රමාණයක් වට්ටම් සහිතව ලබා දුන් ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ සමාගම රිදී සන්නාමයෙන්ද, තෙවනුව වැඩිම දායකත්වයක් දැක්වූ සුරස ප්‍රකාශන ආයතනය ලෝකඩ සන්නාමයෙන්ද පිදුම් ලබා ඇත. අනෙක් ප්‍රකාශන ආයතන මෙන්ම කර්තෘ ප්‍රකාශන වශයෙන් විශාල ග්‍රන්ථ සංඛ්‍යාවක් ලබා දුන් සියලුම දෙනාටද අපගේ ස්තූතිය පළ කළ යුතුමය. මෙම සියලු ග්‍රන්ථ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවගේ පරිශීලනය සඳහා ප්‍රධාන පුස්තකාලයට ලබා දීම සිදු වන අතර එය අනාගත පරම්පරාව සාහිත්‍ය, කලා දැනුමෙන් පෝෂණය කිරීමට මහඟු පිටිවහලක් බව නොඅනුමානය. තවද මෙවර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලබා දුන් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට ද අපගේ ප්‍රණාමය පුද කෙරේ.
සුත්ත නිපාතයේ එන “උක්කාධාරෝ මනුස්සානං නිච්චං අපචිතෝ මයා” “අවිදු අඳුර දුරලමින් මිනිසුන්ට ආලෝකය දෙන්නා නිතර මාගේ ගෞරවයට බඳුන් වේ” යන අගනා බුද්ධාවවාදය අනුව සමස්ත සාහිත්‍යධරයන්ටම අපගේ උපහාරය පුද කරමු.
මහාචාර්ය පනහඩුවේ යසස්සි හිමි
සභාපති
ප්‍රකාශන කමිටුව
මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය