ඉතිහාසයේ සිට වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකේය සාහිත්‍ය කෙත ගොඩනැංවීමේ අරමුණින් සාහිත්‍ය ප්‍රබෝධය ඇතිකරලීම පිණිස සම්මාන උලෙළක අඩුව තදින්ම දැනෙමින් පැවැතිණි. වෙසෙසින්ම කලෙක පටන් එය විකල්ප සාහිත්‍ය සම්මාන උලෙළක අවශ්‍යතාවය දැනෙමින් පැවති වටපිටාවකි. එම හිඩැස පිරවීමේ අරමුණින් 2000 වර්ෂයේදී විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළේ ආරම්භය ඇතිවිය. එතැන් පටන් එය ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයක් මඟින් පවත්වනු ලබන ප්‍රථම සහ එකම ජාතික මට්ටමේ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ලෙස හැඳින්වේ. මෙහි සංකල්පය කරළියට ගෙන එනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ හිටපු මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි. මෙම සාහිත්‍ය සම්මාන උලෙළ ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාවේ පැවැතියේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ පමණි. එය බොහෝ සම්පත් දායකයන්ගේ අනුග්‍රහයෙන් පැවැතියද විද්‍යෝදය සම්මාන උලෙළ ආරම්භ වූයේ සීමිත තරග ඉසව් කිහිපයක් යටතේ විනිසුරු මඬුල්ලකගේ විනිශ්චයෙන් අනතුරුව කෘතීන් උදෙසා සම්මාන ප්‍රදානයෙනි.
කෙසේ වුව මෙවැනි සාහිත්‍ය උලෙළක් ආරම්භ කිරීම පිණිස මුල් වූ කරුණු කිහිපයක්ම තිබෙන බව කිව යුතුයි. ඒ අතුරින් මූලිකම කරුණ ලෙසින් දැක්විය හැක්කේ එවක පැවැති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ පිළිබඳව බොහෝ දෙනෙකුගේ විශ්වසනීයත්ව බිඳී යෑමයි. විශේෂයෙන් නොයෙකුත් කරුණු පිළිබඳව විමසනවිට එය දේශපාලනික වී ඇති බව පැහැදිලිවම පෙනෙන්නට විය. විද්‍යෝදය සම්මාන උලෙළේ මූලික අරමුණම වී පැවතියේ මඩගොහොරුවේ පිපෙන නෙළුම බැතිබරව නෙළා ගැනීම මිස එය මඩගොහොරුව තුළම සඟවා තැබීම නොවේ. එහෙයින් දේශපාලනයෙන්, සාහිත්‍ය කෙත මුදාගැනීම පළමු පියවර විය. ඉන් අනතුරුව විශ්වවිද්‍යාල සිසුන් හා ලේඛකයින් අතර සමීප හමුවීම් මඟින් ඔවුන්ගේ දක්ෂතාවයන් වැඩිදියුණු කිරීමත් සාහිත්‍ය කෙරෙහි ඔවුන් වැඩි වශයෙන් නැඹුරු කිරීමත් ඒ අතර වූ සෙසු කාරණා විය.
අන් විශ්වවිද්‍යාලයකට වඩා වැඩි සාහිත්‍ය දැනුමක රසවිඳින්නට මෙයින් ඔවුනට හැකි විය. සරලව කිවහොත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යනු සාහිත්‍ය කෙතකි.
1967 වසරේදී එවක පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවත්වන්නට කටයුතු කරනු ලැබුවේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඊරියගොල්ල මහතාගේ ද ප්‍රධානත්වයෙනි. ඊට පෙර කිසිදු විශ්වවිද්‍යාලයක රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළක් පවත්වා නොතිබුණි. මෙදින සභාවේ මූලිකත්වය දරා ඇත්තේ කළුකොඳයාවේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ විසිනි. එම වසරේ පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී හොඳම චරිත කතාවට හිමි සම්මානය කේ.එම්. සිල්වා මහත්මිය රචනා කළ ‘සිංහල නවකතාවේ පුරෝගාමියා’ යන කෘතියට හිමිවූ අතර, ‘ගැහැනු ළමයි’ නවකතාවට හිමි සම්මානය කරුණාසේන ජයලත් විසින් හිමි කර ගනු ලැබුවේ හොඳම නවකතාව ලෙසිනි. එම්. එච්. පීටර් සිල්වා විසින් රචිත ‘සිංහල මහිමය’ කෘතියට සම්මානයක් හිමි වූයේ හොඳම ඉතිහාසය සහ සංස්කෘතික කෘතිය වෙනුවෙනි. මෙම උලෙළ අතරතුරදීම විශ්වවිද්‍යාලයීය සුමංගල ශාලාවේ ජාත්‍යන්තර පොත් පිටකවර ප්‍රදර්ශනයක් පවා තබා ඇති බව අතීත විස්තරයන්හි සඳහන්ය.
1967 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය උලෙළ පවත්වා වසර 33කට පසු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ යළි සාහිත්‍ය අසිරිය මැවෙන්නට විය. එනම් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ 2000 වසරේ ඇරඹීමත් සමඟිනි. මෙකී සම්මාන උලෙළ සාම්ප්‍රදායික ලක්ෂණයන් බිඳ දමා ඉදිරියට යන්නට තරම් සමත්කම් දැක්වූයේ ආරම්භයේ සිටය. සාහිත්‍ය උලෙළේ දක්නට ලැබූ විශේෂත්වයක් වූයේ සෑම තරග ඉසව්වකින්ම ජයග්‍රාහකයා නම් කිරීමට පළමුව තරග තීරක විසින් කෙටි දේශනයක් පවත්වා ජයග්‍රාහකයා ප්‍රකාශයට පත්කිරීමයි. එහි යම් විනිවිදභාවයක් ද පෙනෙන්නට තිබුණි. ජයග්‍රාහකයා නම් කිරීමේදී කෘතිය තෝරාගනු ලැබුවේ කවර කරුණු කාරණා මතද, නවකතාව තෝරා ගැනීමට හේතු කාරණා යන දෑවලට අමතරව මෙම කෙටි දේශනය තුළම එම වසරේ නවකතා කොපමණ ප්‍රමාණයක් විනිශ්චයට ලක්කරනු ලැබුවේද, වසර තුළ මුද්‍රණය කර ඇති නවකතා සංඛ්‍යාව කොපමණ ද යන්න පවා සඳහන්ය. ආරම්භක සාහිත්‍ය සම්මාන උලෙළේදී විශිෂ්ටතම ගේය පද සංග්‍රහය, විශිෂ්ටතම නවකතාව, විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය සඳහා සම්මාන ප්‍රදානය කළ අතර, පසුගිය වසරේ සිට එයට තවත් අංශයක් එක්විය. එනම් වසරේ විශිෂ්ටතම සාහිත්‍ය කෘතිය සඳහා ද සම්මානයක් ප්‍රදානය විමයි.
කෙසේ වුවද කතාවට කියන්නාක් මෙන් ලත්තැනම ලොප් වෙන දේවල් නැතුවාම නොවේ. එවන් දෑ අනන්තය අප්‍රමාණය. වරෙක විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළට සිදුවූයේද එවැන්නකි. සාහිත්‍ය උලෙළ අරඹා වසර 3ක් ගතවීමෙන් අහවරව එය තහනමට ලක්වූයේ එවක සිටි උප කුලපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. එහෙත් එය යළි පණගැන්වනුයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වසර 50ක් සම්පූර්ණ වීමත් සමඟිනි. එසේ නොවන්නට මෙවර පවත්වනු ලබන්නේ 14 වන සාහිත්‍ය සම්මාන උලෙළ නොව 24 වන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළයි. නවතා තිබූ සම්මාන උලෙළ නැවත ආරම්භ කරනු ලැබුවේ එවක උප කුලපතිවරයා ලෙසින් සේවය කළ ආචාර්ය එන්.එල්. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළට නැවුම් අංග කිහිපයක් එක්වූයේ නවතා තිබූ සම්මාන උලෙළේ ආරම්භයත් සමඟිනි. එහිදී තීරු ලිපි සඳහා සම්මාන ප්‍රදානය සිදු විණි. එම ආරම්භක තීරු ලිපි සම්මාන පිදුමේදී සම්මානලාභීන් දෙදෙනකු තෝරාගත් අතර, ‘කේරළ නළඟන’ පුවත් තීරුලිපි ලියූ නීල් විජේරත්න සහ ගාමිණී සුමනසේකර ලියූ ‘පෙරළිකතා’ යන කෘතීන් දෙකටයි.