ශ්‍රී ලංකාවේ සාහිත්‍යයේ ප්‍රවර්ධනය උදෙසා විශ්වවිද්‍යාලයක් මඟින් තමන්ට කළ හැකි උපරිම සේවාව මේ අයුරින් ඉටු කරද්දී එය වඩ වඩාත් ඔප් නැංවෙන්නේත්, ඉදිරි පියවරයන් තබන්නේත් ප්‍රකාශන සමාගම් නිසාවෙන් යැයි කිවහොත් එය සාවද්‍ය කරුණක් නොවේ. මක් නිසා ද යත්, ඔවුන් විසින් ඉටු කරන නිහඬ සේවය ද සම්මාන උලෙළකට අත්‍යවශ්‍යම සංසිද්ධියකි. එසේ හෙයින් ඔවුන්ගේ නියෝජනය ද පැසසිය යුතුයි. එබැවින් මේ ඉඩකඩ වෙන් වෙන්නේ ඔවුන් වෙනුවෙනි. සරසවි, ගොඩගේ සහ සුරස පොත් ප්‍රකාශන සමාගම්වල සමාගම් හිමිකරුවන් සමඟ අප කළ සාකච්ඡාමය ගනුදෙනුව මෙසේ දිග හරිමු.
ශ්‍රී ලංකාවේ සාහිත්‍යයේ ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රධාන පෙළේ සම්මාන උත්සව කිහිපයක් තියෙනවා. ඉන් ප්‍රධාන එකක් තමයි, මේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ කියන්නේ. එහිදී දැනට ප්‍රකාශනවල විවිධ ඉසව්වල ප්‍රමිතියක් ඇති කර ගැනීම සඳහා සිදු කෙරෙන සම්මාන උළෙලක් විධියටයි මම මෙය දකින්නේ. මෙහිදී උසස් කෘති නිර්දේශ වෙනවා, වගේම සම්මානයටත් පාත්‍ර වෙනවා. ඒ වගේම නිසරු කෘති ප්‍රතික්ෂේප වෙනවා. මෙය රටක ලේඛකයින් දිරි ගැන්වීමට වගේම සාහිත්‍ය වර්ධනයටත් බොහෝම ප්‍රශංසනීය පියවරක්. ඒ අතින් විද්‍යෝදය සාහිත්‍ය උත්සවය මේ රටේ වසර ගණනාවක් තිස්සේම පැවැත්වෙන එක ගැනත් සතුටුයි. සාහිත්‍ය ප්‍රගමනයට වැදගත් දායකත්වයක් මෙයින් ඉටු වෙනවා.
අපි ප්‍රකාශන ක්ෂේත්‍රයට පිවිසිලා සෑහෙන කාලයක් මේ වන විට ගත වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම, අපිත් උත්සාහ කළේ, මෙහි ප්‍රමිතිය වගේම ගුණාත්මක බව ආරක්ෂා කරමින් නිර්මාණ ඉදිරිපත් කරන්නයි. ඒ අනුව අපිට විවිධ වර්ෂවල විවිධ සම්මාන දිනා ගන්න හැකි වෙලා තියෙනවා. ඒ විවිධ නවකතා, පද්‍ය, තීරු ලිපි, කෙටි කතා, යොවුන් කතා, පරිවර්තන සහ ශ්‍රාස්ත්‍රීය ලිපි වගේ දේවල්වලටයි. ඒ වගේම පිට කවර නිර්මාණය, උසස්ම නිමාවෙන් යුතු ග්‍රන්ථය වගේ දේවල්වලටත් ඇගැයීම් ලැබුණා. මේ සෑම අංශයකින්ම අපේ ආයතයට සම්මාන දිනා ගන්න පුළුවන් වුණා. ඒ වගේම කිසියම් ගුණාත්මක බවක් ආරක්ෂා කර ගන්න පුළුවන් වුණා. මේ වගේ සන්නාමයකට නිර්දේශ වීමත් අපි ලැබූ එක්තරා කඩඉමක් විදිහට මම විශ්වාස කරනවා. සම්මානයක් කියන්නේ ආධුනිකයකුට වගේම, පරිණත කෙනෙකුටත් තමන්ගේ නිර්මාණවලට ලැබෙන තල්ලුවක්. ඒ වගේම අපේ වෘත්තියටත් ජවයක් උත්තේජනයක් ඉන් ලැබෙනවා. ඒ නිසා හැම තිස්සෙම තමන් නිරතවෙන වෘත්තියේ කිසියම් ප්‍රහර්ෂයකට, උද්දාමයකට පත්වන දෙයක් විදිහට මෙය සලකන්න පුළුවන්. ඒ අතින් ලේඛකයන් දිරි ගැන්වීම සඳහා කෘතිවලට සම්මාන ලැබීම හොඳ දෙයක්. ඒ වගේම මේ සම්මානිත කෘති බිහිවෙනවා වගේම, ලේඛකයනුත් බිහි වෙනවා වගේම, එයින් සාහිත්‍යයට මෙහෙයක් වෙනවා වගේම තවත් පාර්ශ්වයක් තියෙනවා. ඒ තමයි, රස වින්දනය පැත්ත. මීට සමගාමීව විශාල වශයෙන් දියුණු කළ යුතු පැත්තක් තමයි ඒ. මොකද විශාල වශයෙන් ඒ අංශය දැන් පිරිහීමට ලක් වෙලා. ලංකාවේ පවතින ආර්ථික ක්‍රමය සහ තාක්ෂණික විධි මෙයට තදින්ම බලපාලා තියෙනවා. නිර්මාණවලට සම්මාන ලැබෙනවා වගේම, නිර්මාණ කරුවන්ටත් සම්මාන ලැබෙනවා වගේම ඒකට සමගාමීව රසවින්දනාත්මක වැඩ පිළිවෙළක් විශාල වශයෙන් දියත් කිරීම සඳහා මේ සංවිධානවල අවධානය යොමු වෙනවා නම් ඉතා වටිනවා. ඒක තමයි මීට සමගාමීව කළ යුතු ලොකුම මෙහෙය වන්නේ. මොකද නිර්මාණ සහ නිර්මාණකරුවන් බිහි වුණාට වැඩක් නැහැ, රස විදින්න පුළුවන් පිරිසක් නැත්නම්. හොඳ නිර්මාණයක් තෝරලා දුන්නට එය රස විදින පිරිසකුත් ඉන්න ඕනෑ. ඒ නිසා ඉදිරියට මේ පිළිබඳවත් අවදානය යොමු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක අත්‍යවශයෙන්ම සිදු විය යුතු මෙහෙයක්.
ප්‍රකාශකයා රැකෙන්නෙත්, ලේඛකයා රැකෙන්නෙත්, සම්මාන උත්සව පවත්වන්න ලැබෙන්නෙත් මේ සියලු දේවල් කරන්න ලැබෙන්නෙත් පාඨකයෝ හිටියොත් විතරයි. පාඨක සමාජය පුළුල් කර ගන්න නම් රස වින්දනය වැඩි දියුණු කර ගත යුතුයි. ඒ නිසා රස වින්දනය පිළිබඳ පුළුල් කතිකාවතක් අවශ්‍යමයි. එහෙම නැත්නම් ලංකාවේ මේ බිහි වෙමින් පවතින සම්මාන උත්සවවලින් තොර බිහි වන නිසරු දේවල් පවතින අර්ථ ක්‍රමයේ ප්‍රතිඵල විසින් ක්‍රමයන් සොයමින් පවතිනවා. ඒ නිසා මෙය වැඩි වර්ධනය කළ යුතුයි. රස වින්දනය පිළිබඳ උත්තේජනයක් නොවුණොත්, පාඨක පිරිස අඩු වෙනවා. එහෙම වුණොත් පොත් බිහි වෙන්නෙත් නෑ. ප්‍රකාශකයෝ බිහි වෙන්නෙත් නෑ. ලේඛකයෝ බිහි වෙන්නෙත් නෑ. සම්මාන උත්සව බිහි වෙන්නෙත් නෑ ඒ නිසා අන්න ඒ අනතුර හැමදාමත් තියෙනවා. ඒ නිසා රස වින්දනය පිළිබඳ පැත්ත ගැනත් අවධානය යොමු කරලා පාඨක පිරිස හොඳ රස වින්දනාත්මක පැත්තකට යොමු කරන්න හොඳ වැඩ පිළිවෙලක් අත්‍යවශ්‍යමයි.
———————————————————————————————————————————
පාඨකයාට හොඳම පොත් තෝරා දෙනවා
– සරසවි පොත් සමාගමේ සභාපති එච්. ඩී පේමසිරි
මෙවර 14 වැනි වරට පැවැත්වෙන විද්‍යෝදය සාහිත්‍ය උලෙළ ඉතාමත් සුවිශේෂීයි. සාහිත්‍ය සම්මානයක පැවතිය යුතු සහ පක්ෂපාතී බවින් තොර විශ්වාසය රැකගත් සාහිත්‍ය සම්මාන උලෙළක්. එමෙන්ම ඉහළ ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යන සම්මාන උලෙළක් ලෙසත් හැඳින්විය හැකියි. ප්‍රමිතිය ආරක්ෂා කරගනිමින් සාහිත්‍ය උලෙළක් සංවිධානය කිරීම විශ්වවිද්‍යාලයකට පමණක් නොවේ, පවතින ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ඕනෑම ආයතනයකට දුෂ්කරයි. නමුත්, මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි සාහිත්‍යධරයින් විසින් මෙම සම්මාන උලෙළ පවත්වාගෙන ගියේ ඉහළ නිර්ණායකයන් මතයි. ඒ ඉහළ ප්‍රමිතිය සංවිධායකයින් විසින් තවදුරටත් ආරක්ෂා කරමින් පවතින බව තහවුරු වන්නේ විද්‍යෝදය සම්මාන උලෙළින් සම්මානයට පාත්‍ර වන්නේ සෑබෑවටම සම්මාන හිමි විය යුතු පොත් නිසායි. මේ සම්මාන උලෙළින් පාඨකයාට හොඳම පොත් තෝරා දෙන නිසා රචකයාට මෙන්ම පාඨකත්වයටත් මින් අත්වන්නේ ඉමහත් සේවයක්.
මෙම ඇගැයීම ලේඛකයින් තුළ මෙන්ම සාහිත්‍ය ලෝලීන් තුළත් අපේක්ෂා දැල්වීමට හේතු වී තිබෙනවා.
මේ සම්මාන උලෙළින් සාහිත්‍යට සිදු වන සේවය සලකා ඊට අවැසි සහය ලබා දීමට ආයතනයක් ලෙසින් අපි කටයුතු කළා. ඒ සඳහා අවශ්‍ය සියලු පොත් අප ආයතනය වෙතින් නොමිලේ ලබා දුන්නා. ඒ නිසාම මෙම සම්මාන උලෙළෙහි රන් සන්නාමය ලෙස අප ආයතනය නම් කර තිබෙනවා.
කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, කඩදාසි මිල ඉහළයාම, වැනි හේතු නිසාම ලේඛකයින් පසුබෑමට ලක්වී පැවති කාලයේ අලුත් පොත් එළිදැක්වීම ඉතාමත් දුබල තත්ත්වයකට පත්වී තිබුණා. නමුත්, ඒ තත්ත්වයන් පහ වෙමින් පොත් ප්‍රකාශනය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ඊට හේතුව අර්බුද කොතෙක් පැවතියත් සමාජය අස්වැසීමට සාහිත්‍යට ඇති හැකියාව ඉතා ඉහළයි. ආර්ථිකය කෙතරම් දුෂ්කර වුවත් හොඳ පොතකට ඇති ඉඩ පාඨකයා වෙතින් ගිලිහී නොතිබීම සතුටක්. මෙවර විද්‍යෝදය සාහිත්‍ය උලෙළ සාහිත්‍ය සඳහා වන පාඨක උද්යෝගය තව තවත් වර්ධනය කරනු ඇත.
———————————————————————————————————————————
ජාතික සාහිත්‍යයට ලොකු ශක්තියක්
– එස්. ගොඩගේ පොත් ප්‍රකාශන සමාගමේ ව්‍යාපෘති කළමනාකරු අනුරසිරි හෙට්ටිගේ
විද්‍යෝදය සම්මාන ප්‍රදාන උලෙළේදී එස්. ගොඩගේ සමාගමට රිදී සන්නාමය ලබා දෙමින් අගැයුමට පාත්‍ර කිරීම පිළිබඳව ලොකු සතුටක් අප සමාගමට තිබෙනවා. ඇත්තෙන්ම මෙම සම්මාන ප්‍රදානය මෙරට සාහිත්‍ය ලෝකයේ විශේෂම ඉසව්වක් විදිහට සඳහන් කිරීමේ වරදක් නැහැ. මේ ආකාරයේ සාහිත්‍ය සම්මාන උලෙළක් පැවැත්වීම මඟින් අපේ ජාතික සාහිත්‍යට ලොකු ශක්තියක් වගේම මෙම ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලු සාහිත්‍යවේදීන් වෙත හොඳ අගැයුමක් ලැබෙනවා. මෙහිදි ගොඩගේ සමාගම විදිහට අපට ලොකු සතුටක් වගේම ආත්ම තෘප්තියක් තිබෙනවා. මෙවර නිර්දේශවෙලා තිබෙන පොත් විස්සෙන් දහතුනක්ම ගොඩගේ පොත් වීම ගැන ගොඩගේ පොත් ප්‍රකාශකයන් විදිහට අපට ලොකු සතුටක් තිබෙනවා. ඇත්තෙන්ම එය අපේ සමාගමේ ජයග්‍රහණයකට වඩා ගොඩගේ සමාගම කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන පාඨකයන් සහ ලේඛකයන් තැබූ විශ්වාසය පිළිබඳව ස්තුතිය පළ කළ යුතුයි.
අද වන විට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළට සමගාමීව පවත්වනු ලබන සම්මාන ප්‍රදානය විදිහට විද්‍යෝදය සම්මාන ප්‍රදානය හඳුන්වා දෙන්න පුළුවන්. අද වාගේ කාලයක මේ ආකාරයේ සම්මාන ප්‍රදානයක් පැවැත්වීම පිළිබඳව එහි සංවිධායක මණ්ඩලයට ස්තුතිය පළ කළ යුතුයි. මේ වන විට අප රටේ සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් තිබෙනවා ඒ උනන්දුව මෙවැනි සාහිත්‍ය සම්මාන ප්‍රදානයන් මඟින් ඒ උනන්දුව වර්ධනය වෙනවා. අද විශ්වවිද්‍යාල පද්ධතියේ විශ්වවිද්‍යාල රැසක් තිබුණද මේ ආකාරයේ සාහිත්‍ය සම්මාන ප්‍රදානයක් සංවිධානය කර තිබෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයෙන් පමණයි. ඇත්තෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ මෙවැනි සම්මාන උළෙල මඟින් සාහිත්‍ය පිළිබඳව තිබෙන උනන්දුව වගේම සාහිත්‍ය පාර්ශ්වයට ඇති වන උනන්දුවත් ඉහළ යනවා. මීට අවුරුදු විසිතුනකට පෙර ආරම්භ කළ මේ සාහිත්‍ය සම්මාන ප්‍රදානය එදා සිට අද දක්වා දියුණු වෙමින් තව තවත් ඉදිරියට යමින් ක්‍රියාත්මක වීම ගැන සතුටුයි. මේ සම්මාන ප්‍රදානය නිසා සාහිත්‍ය ලෝකයට නව එළියක් සහ උනන්දුවක් ඇතිව තිබෙනවා.
අනෙක් පසින් මේ සම්මාන ප්‍රදානය එදා සිට අද දක්වා එක තැනක් එක පාරක ගියේ නැහැ. කාලය අනුව වෙනස් වුණා. අද වන විට ශාස්ත්‍රීය කෘති සඳහා ද වෙනම සම්මාන ලබා දීමක් සිදු කිරීමට කටයුතු කර තිබෙනවා. ඒක අලුත් ප්‍රවේශයක් විදිහට හඳුන්වා දීමේ වරදක් නැහැ. අද මේ සම්මාන ප්‍රදානය තුළ ශාස්ත්‍රීය ග්‍රන්ථ සඳහා සම්මාන ප්‍රදානය සිදු කරනවා එහිදී ගොඩගේ සමාගම විදිහට අපට ලොකු සතුටක් තිබෙනවා.