ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨ ප්‍රකාශන කමිටුව විසින් සංවිධානය කරනු ලබන 14 වන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ දී නවකතා, කෙටිකතා, ගේය කාව්‍ය, පද්‍ය කාව්‍ය, තීරු ලිපි සහ ශාස්ත්‍රීය කෘති යන තේමා යටතේ සාහිත්‍ය කෘති ඇගයීමට ලක්කෙරේ. මෙවර සම්මාන ප්‍රදානය සඳහා කතෘවරුන් සහ ප්‍රකාශන ආයතන විසින් නවකතා කෘති 81ක්, කෙටිකතා කෘති 39ක්, ගේය කාව්‍ය කෘති 04ක්, පද්‍ය කාව්‍ය කෘති 73ක්, තීරු ලිපි කෘති 05ක් සහ ශාස්ත්‍රීය කෘති 68ක් වශයෙන් සමස්ත සාහිත්‍ය කෘති 270ක් පීඨ ප්‍රකාශන කමිටුව වෙත යොමුකර ඇත. පෙර වසරවලට සාපේක්ෂව මෙවර ලැබී ඇති කෘති ගණන සංඛ්‍යාත්මකව අඩු අගයක් ගත්ත ද ප්‍රමාණවත් මට්ටමේ කෘති සංඛ්‍යාවක් පීඨ ප්‍රකාශන කමිටුව වෙත ලැබී තිබේ. ඒ සියලු කෘති තරග ඉසව් 06 ක් ඔස්සේ විමර්ශනයකට ලක්කරනු ලැබුවේ මූලික වට කිහිපයක ඇගයීම් මඟිනි. ඒ සඳහා විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ආචාර්යවරුන් සම්බන්ධ වී ඇත. ඒ ඇගයීම්වලින් පසු අවසාන වටයට නිර්දේශිත කෘති පාඨකයාට දැනගැනීම පිණිස පීඨ වෙබ් අඩවිය ඔස්සේ දක්වා ඇති අතර එම කෘතිවල අවසන් සමාලෝචනය සමඟින් සම්මානයට පාත්‍ර වූ කෘතිය පිළිබඳ අවසන් ඇගයීම සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ දී සිදුකරනු ලැබේ. එහිදී එක් එක් ඉසව්වල අවසන් සමාලෝචනය එකී ක්ෂේත්‍රයන් පිළිබඳ ප්‍රවීණත්වය දරන ආචාර්යවරුන් විසින් සිදුකරනු ලැබේ. මෙහිදී දැකිය හැකි විශේෂත්වය වනුයේ වට ත්‍රිත්වයක් යටතේ සිදු කරනු ලැබූ ඇගයීම් කටයුතු සඳහා මෙන්ම අවසාන විනිශ්චයන් සඳහා ද සම්බන්ධ වන සියලු දෙනා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ආචාර්යවරුන් වීමයි. ඒ අනුව විශ්වවිද්‍යාලයක් විසින් සාහිත්‍ය ලෝකයේ නිර්මාණකරුවන්ට හා පාඨකයන්ට ලබාදෙන විශ්වවිද්‍යාලයීය ඇගයීමක් ලෙස ද මෙම සාහිත්‍ය සම්මාන ප්‍රදානය හඳුන්වාදිය හැකිය. කවි, කෙටිකතා, නවකතා, ගීත වැනි කෘති සාහිත්‍යයේ නිර්මාණාත්මක පක්ෂයත්, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය ක්ෂේත්‍රවල කෘති ශාස්ත්‍රීය පක්ෂයත් එකවර ඇගයීමට ලක් කිරීම මෙහි ඇති විශේෂත්වයයි.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ දී විනිශ්චයට ලක්වෙන සහ ඇගයීමට ලක්වෙන සියලු කෘති අප විශ්වවිද්‍යාලයේ දරු දැරියන් සහ විවිධ උපාධි අපේක්ෂකයින් හට පරිශීලනය කිරීමට ලැබීම ද මින් හිමිවෙන විශේෂ වරප්‍රසාදයකි. ඒ අතරට ශාස්ත්‍රවේ දී, ශාස්ත්‍රපති, දර්ශනසූරී, දර්ශනපති වැනි විවිධ විෂය පාඨමාලා හදාරන විද්‍යාර්ථීන් මෙන්ම හුදු රසවින්දනය සඳහා කෘති පරිශීලනය කරන විද්‍යාර්ථීන් ද අයත් වේ. ඒ අනුව මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයක් වශයෙන් සෑම වසරක දීම ප්‍රකාශයට පත්වෙන කෘති මඟින් ඒ වසරේ දීම විශ්වවිද්‍යාල පුස්තකාලය යාවත්කාලීන කරනු ලබන එකම විශ්වවිද්‍යාලය වන්නේ ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයි.
සාහිත්‍ය සම්මාන උලෙළක් යනු හුදෙක් සාහිත්‍ය නිර්මාණ සම්මානයට ලක් කිරීමක් පමණක් ම නොව එය විවිධ සාහිත්‍ය ප්‍රභේද, සංස්කෘතීන් හා සමාජ ස්ථර පුරා විහිදී යන සාහිත්‍ය ආකෘති ප්‍රවර්ධනය කිරීමේ වේදිකාවක් ලෙස සැලකිය හැකිය. සාහිත්‍යකරුවන් හට ස්වකීය සාහිත්‍යාංගයන් උදෙසා ප්‍රබුද්ධික මට්ටමේ පිළිගැනීමක් සහ කිසියම් ආකාරයක පැසසීමක් ලබා දීම කළ යුතු වේ. එමඟින් ඔවුන් වඩ වඩාත් සාහිත්‍ය නිර්මාණකරණයෙහිලා දිරිමත් කිරීමට හැකි වන අතර සාහිත්‍ය ලෝකය තුළ තවදුරටත් ඔවුන් අබිසෙස් ගැන්වීමට හැකියාව ලැබේ. එසේම පාඨකයාට ගෝචර නොවුණු ඇතැම් ක්ෂේත්‍ර පෘථුලව අධ්‍යයනයට ලක් කෙරෙන අතර සංස්කෘතික උරුම, සමාජ සම්ප්‍රදාන සේම සමාජ යථාර්ථය ද ඊට ඇතුළත් වේ. සාහිත්‍ය යනු මිනිස් ජීවිත විචාරශීලී ගුණයෙන් අරුත් ගන්වන්නට සමත් ප්‍රබල අනුකලනයකි. සමාජ යථාර්ථය, ස්වකීය ජීවන අභියෝග අභියස නොසැලී වෙසෙන්නට මිනිසා පන්නරය ලබන්නේ මෙකී සාහිත්‍යයෙනි. පුළුල් සමාජ දැක්මක් ඔස්සේ යමින් සමාජ ශෝධනයේ යෙදෙන සාහිත්‍යකරුවා සමාජය කිසියම් ආකාරයක ගැඹුරු විචාරයකට බඳුන් කරයි.
සාහිත්‍ය සම්මාන උලෙළක් වනාහි සාහිත්‍යයේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටතාව සමාජ ගත කරනු ලබන මිණුම් දණ්ඩක් වැනිය. ආඛ්‍යාන ගොඩනැඟීමේ, භාෂා භාවිතයේ මෙන්ම කලාත්මක ප්‍රකාශනයේ ඉහළ ප්‍රමිතීන් තහවුරු කිරීම එමඟින් සිදු කෙරේ. සාහිත්‍ය නිර්මාණයන් විචාරයට බඳුන් කිරීම මඟින් සාහිත්‍යකරුවන් අභිප්‍රේරණයට ලක්කරනු ලබන අතරම අනාගතයේ සාහිත්‍ය ලෝකයට සම්බන්ධ වීමට අපේක්ෂිත දුහුනන් උදෙසා ද මඟ පෙන්වීම සිදුකෙරේ. එම මඟ පෙන්වීම නව සාහිත්‍ය නිර්මාණ බිහිවීමට සහ කර්මාන්තමය ශක්‍යතාව ගොඩනැඟීමට ද රුකුලක් වේ. මෙහිදී ප්‍රධාන වශයෙන් සැලකිය යුතු කාරණය නම්, සාහිත්‍ය සම්මාන උලෙළක් මඟින් සාහිත්‍ය රුචි පාඨකයාට සේම ලේඛකයාට ලැබෙන ආශ්වාදය සහ කලාත්මක ශක්‍යතාවයි. ඒ ආශ්වාදය සහ කලාත්මක ශක්‍යතාව ඔස්සේ යමින් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2023 මඟින් ඇගයීමට ලක්කෙරෙන ප්‍රබුද්ධ ලේඛක ප්‍රජාව, සමාජය නිවැරදි දිශානතියක් කරා මෙහෙයවනු ඇති යන්න විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ අපේක්ෂාවයි.
සඳුනිකා රත්නායක
සහකාර කථිකාචාර්ය
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය