මෙරට සාහිත්‍ය ප්‍රබෝධයේ ස්වාධීන මුද්‍රාව බවට පත්ව තිබෙන්නේ ජයවර්ධනපුර සරසවිය විසින් මෙහෙයවනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානයයි. එදා මෙරට සාහිත්‍ය සම්මාන ලබා දීම රාජ්‍ය සම්මාන උලෙළට පමණක් සීමා වී තිබුණි. එබැවින් රාජ්‍ය සම්මාන උලෙළට විකල්ප ලෙස ආරම්භ වූ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය මුලින්ම ආරම්භ වන්නේ දෙදහස වසරේදීය. විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා එදා මූලිකත්වය ගෙන කටයුතු කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසිනි. ඔහුගේ මූලිකත්වයෙන් ආරම්භ කළ මෙම සම්මාන උලෙළ දෙදහස වසරේ සිට පවත්වාගෙන එන්නකි. එබැවින් අඛණ්ඩව 2023 වසරේත් මෙම සාහිත්‍ය උලෙළ සිදු කිරීමට නියමිතය. දැන් මෙම උලෙළ ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මානව ශාස්ත්‍ර පීඨය විසින් සිදු කරනු ලබයි. විද්‍යෝදය සම්මාන උලෙළ නිර්මාතෘ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සමඟ ඒ පිළිබඳව කළ කෙටි කතාබහයි මේ.
මෙවන් සාහිත්‍ය සම්මාන උලෙළක් ආරම්භ කළේ ඇයි?
කාලයක සිට විකල්ප සාහිත්‍ය උලෙළක අවශ්‍යතාවක් තිබුණා. එහෙත්, ඒ සඳහා ඕනෑ කරන පසුබිමක් ඇති කරන්න බැරි වුණා. එහෙත්, දෙදහස අවුරුද්ද වන විට විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය ආරම්භ කිරීමට අපට හැකියාව ලැබුණා.
ඒ වන විට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළක් කාලයක සිට පැවැත්වුණා. එහෙම රාජ්‍ය උලෙළක් තියෙද්දී විද්‍යෝදය වැනි විකල්ප සාහිත්‍ය සම්මාන ප්‍රදාන උත්සවයක් ආරම්භ කළේ ඇයි?
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය රාජ්‍ය සම්මානවලට වඩා ගොඩක් වෙනස්. රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා ලොකු මුදලක් වියදම් වෙනවා. එහෙත්, එදා ජපුර අපිට ඒ වගේ ලොකු ශක්තියක් තිබුණේ නෑ. ඒ නිසා අපි සීමිත ඉසව් කිහිපයක් ඔස්සේ මේ සම්මාන ප්‍රදානය අප සංවිධානය කළා. එහිදී අප නිර්මාණයක් සඳහා සම්මාන අගැයුම් ලබා දෙද්දී ඒක පුද්ගල විනිශ්චයක් සිදු කළා.එතැනදී විද්වතුන් මණ්ඩලයක් විදිහට මේ විනිශ්චය පිළිබඳ සාකච්ඡා කළා. එතැනදී වැඩි අවබෝධයක් ලබා ගත්තා. මේ සම්මාන ප්‍රදානයේදී සම්මානය ලබා දෙන්නේ ඇයි කියලා විනිශ්චයකාරවරයා සඳහන් කරනවා. සම්මාන කෘතියට ඇයි සම්මාන දුන්නෙ ඇයි කියලාත් එහිදී සඳහන් කරනවා.
ඔබ ඇතුළු කණ්ඩායම සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා මේ වගේ විනිවිද පෙනෙන ක්‍රමයක් අනුගමනය කළේ ඇයි?
රාජ්‍ය සම්මාන උලෙළ පිළිබඳ අපට උකටලී බවකුයි තිබුණේ. කනස්සලු ස්වභාවයක් තිබුණෙ. දේශපාලනයේ අත් මේ තැන්වලට ඇතුළුවන බවක් දක්නට ලැබුණා. ඒ නිසා තමයි, අපි විද්‍යෝදය සාහිත්‍ය කණ්ඩායම විදිහට තීරණය කළේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය ආරම්භ කිරීමට. මෙයට විකල්පයක් විදිහට අපට එය කරන්න හැකියාව ලැබුණා. විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ සාහිත්‍ය පිළිබඳ අලුත් උනන්දුවක් ඇති කිරීමටත් මේ සාහිත්‍ය ප්‍රදාන උලෙළ ආරම්භ කිරීම මඟින් හැකියාව ලැබී තිබීම ගැන සතුටුයි.
විද්‍යෝදය සාහිත්‍ය උලෙළ වගේ ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබීම හොඳ ප්‍රවේශයක්. ජයවර්ධනපුර සරසවියට තමයි, මේ වගේ හොඳ අවස්ථාවක් ලැබුණෙ. 1967 දී රාජ්‍ය සාහිත්‍ය උලෙළක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ පවත්වා තිබෙනවා. එදා ඒ අවස්ථාවේ උත්සවයේ මූලාසනය ගෙන කටයුතු කළේ කළුකොඳයාවේ පඤ්ඤාසේකර හිමියි. සාහිත්‍යයවේදී ඇමැතිවරයකු වන ඊරියගොල්ල මහතාද එදා මේ අවස්ථාව සඳහා එකතු වෙලා තිබෙනවා. විද්‍යෝදය සාහිත්‍ය ප්‍රවණතාවය ආරම්භ වුණේ මේ විදිහටයි.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ සුනිල් ආරියරත්න මහාචාර්යවරයාගේ විශ්‍රාම යෑමෙන් පසු ඉදිරියටත් පවත්වාගෙන යාම පිළිබඳ ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා, ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසු පිරිස වෙත සිය ස්තූතිය පළ කර සිටී.