බදු වංචා සෙවීම සඳහා සමාජ මාධ්‍ය ප්‍රොෆයිල් ඇසුරු කිරීමට අවස්ථාවක් ලබා දීමට ප්‍රංශ අධිකරණය පසුගිය දිනක අවසර ලබා දුන්නේය. සමාජ මාධ්‍යයේ ‘තවුසන්ඩ් ටෝක්’ දෙන සමහරු, බදු සම්බන්ධයෙන් කිසිදු ගෙවීමක් නොකරන බව අනාවරණය කර ගැනීමත් සමඟ, මේ පියවර සඳහා ප්‍රංශ අධිකරණය අවසර ලබා දුන්නේය. තමන්ගේ වාහන, කර්මාන්ත වැනි බොහෝ දේ ෆේස්බුකියේ සඳහන් කිරීම මේ රටේ ද සිරිත බැවින්, බදු වංචා සහ මඟහැරීම් පිළිබඳව වූ නිරීක්ෂණ සඳහා ෆේස්බුකිය නියම කලාපයකි. බදු ගෙවීම සම්බන්ධයෙන් අපේ සමාජයේ ඇති පළමු නිරීක්ෂණය වන්නේ ‘මඟ හරින්නේ කෙසේද…?’ යන්නය.
මඟහැරීමට එහා ගොස් බදු වංචා සඳහා ද බොහෝ පාර්ශ්ව යොමුව සිටිති. මේ තීරුව අද කරළියට ගන්නේ ඊටත් එහා ගිය වර්ෂන් එකකි. බදු කියන්නේ රාජ්‍ය ආදායම වන විට, එයට වෙට්ටු දැමීම සමහරුන්ගේ ආදායම වී තිබේ. රජය විසින් වාහන ආනයනය තහනම් කළ අවධියේදී, රජයට රුපියල් බිලියනයක බදු ආදායමක් අහිමි කරමින් ආනයනික සමාගම් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව ව්‍යාජ ලෙස වාහන ලියාපදිංචිය සිදු කර ඇතැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ගිය සතියේ කරුණු වාර්තා කළේය.
නැවේ ආ පළියට, ගොඩට ගෙන අපට පාරේ වාහනය පදවාගෙන යා නොහැකිය. රේගුවෙන් අදාළ බදු මුදල ගෙවා වාහනයක් එළියට ගත යුතුය. මේකට කියන්නේ, රේගු නිෂ්කාශනය කියාය. වාහන සඳහා රේගුව අය කරන බද්ද බර ගණනක් හෙයින් මේ නිෂ්කාශනයට වංගු ගැසීමට බොහෝ දෙනෙක් උත්සාහ කළහ. එවන් ගේමක් හසු කර ගැනීමට අල්ලස් කොමිසම සමත්ව තිබුණි.
රේගුවෙන් නිෂ්කාශනය නොවූ මිනි කූපර් වර්ගයේ මෝටර් රථයක් තිබුණි. මේ සඳහා බදු ගෙවිය යුතු හෙයින් අදාළ බද්ද ගෙවන තෙක් එම වාහනය ‘පාරේ දුවන එකක්’ බවට පත්වන්නේ නැත. බද්ද ගෙවා සම්පූර්ණ වූ විට, එම දත්ත සියල්ල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවේ සටහන් වේ. එම නිෂ්කාශනයෙන් පසු, වාහනයට අදාළ අංක තහඩු ආදි දේ ලබා ගෙන, පාරේ යා හැකිය. ගේම දුන්න එකා කරන ලද්දේ, මිනි කූපර් සඳහා බද්ද වැඩි බැවින්, රේගුවේ ඇති වාහන කැටගරියෙන් එම වාහනය ත්‍රීවීල් එකක් බවට පත් කිරීමය. එවිට ටැක්ස් වදින්නේ රෝද තුනකට බැවින් ගාණ අඩුය.
මේ ගේම, ආර්. එම්. වී. එකේ ඇතුළේ වැඩකි. මේ විදිහට පහළ කැටගරියකට වාහනයක් දමා රෙජිස්ටර් කිරීමට, ලක්ෂ විස්සක් මෝටර් රථ දෙපාර්තමේන්තුව ඇතුළේ සෙට් එක ගනිති. ඊට පසු මිනි කූපරය පාරේ යන්නේ ත්‍රීවීල් අංකයක් සහිතවය.
මේ විදිහට වාහන පන්දහසක් රෙජිස්ටර් කර ඇති අතර, දැනට ඉන් දෙසීයක් ‘ක්ලින් කට්’ එකට, අල්ලස් කොමිසම හඳුනාගෙන තිබේ. මේ රට හදන්න නම් බලා ගත යුතු ආයතන සංඛ්‍යාව දෙකක් බව ජනාධිපති ප්‍රේමදාස සඳහන් කර තිබුණි. එකක් රේගුවය. අනික දේශීය ආදායම් දෙපාර්තමේන්තුවය. එහෙම කිවුවාට බලාගන්න අමාරුම දෙකද ඒවාය. භාණ්ඩ ආනයනයේදී බදු වංචා කිරීම් තුළින් ද රජයට වාර්ෂිකව අහිමි වන ආදායම බිලියන 100කට වැඩි බව ගණන් බලා තිබේ. සමහර ව්‍යාපාර සඳහා ලාභ ලැබෙන්නෙම, රේගු වංචා නිසාය. මේ ජාතියේ ආනයනකරුවෝ භාණ්ඩ ගෙන්වන්නේ, අඩු ගණන් පෙන්වාය. කොළඹ තොග කඩවල සිට පාරේ ඇති කඩවල ද බිල් පොත් වර්ග තුනක් තිබේ. එකක් නියම පොතය. වැඩේ හරියටම ඕනෑ අයට නියම ගාණට බිල එයින් ලැබේ. වැඩි ගාණක් දමා, අතට ගාණක් ගැනීමට අවශ්‍ය අය සඳහා තවත් පොතක් ඇත. එහෙම නැත්නම්, කඩයට වාසි ගැනීම සඳහා ‘ඔන් ඇපෘවල්’ පොතක් තිබේ. මේ ජාතියේ බිල් ක්‍රමයක් හෙවත් ‘අන්ඩ වැලිව්’ ක්‍රමයක් ආනයනයේදී භාවිත වේ.
තව ක්‍රමයක් වන්නේ භාණ්ඩ සඟවා ගෙන්වීමය. ඇතුළේ ඇත්තේ මහන මැෂින් වුවත්, ඒවා එන්නේ කොටස් වශයෙනි. මේ කන්ටේනරයේ ‘කඳ කොටස’ එන විට, පාගන කොටස එන්නේ තව කන්ටේනරයක, වෙන කොම්පැනියක නමටය. ඒවාට බිල් වෙන්නේ ‘පාර්ට්ස්’ කියාය. එහෙම ආ විට බඩුවට මෙන්, වැඩි බදු බරක් නැත. මේවා ඇල්ලීම අතිශය දුෂ්කර වුවද, පසු විපරමක් කරන්නේ නම් ඇල්ලීම පහසුය.
අපේ නිධාන කතාවට ලක්වූ ‘වාහන සෙල්ලම’ නිසා, රජයට සිදුව ඇති පාඩුව, රුපියල් බිලියනයක් බව අල්ලස් කොමිසම, අධිකරණයට දන්වා තිබුණි. මෙහෙම ගේම් දෙක තුනක් දුන්නා කියන්නේ, අපිට දිගටම බෙහෙත් හේත් ටික සහ කෑම බඩු ටික ගන්නට වෙන්නේ, ඉන්දීය ණය ආධාරයෙන් බවය. රටේ බදු ක්‍රමවේදය කියන්නේ, ආණ්ඩුව ජීවත් වෙන ක්‍රමවේදයය. ඒ මත්තේ පාසල් පෙළ පොතේ සිට ගමේ රෝහලේ බෙහෙත් පෙත්ත, පාලම් බෝක්කු සෑදීම ආදී සියල්ල රඳා පවතියි. ආණ්ඩුවේ ආදායම බිස්නස් එක කර ගත්තා, කියන තරමේ මූල්‍ය අපරාධයක් තවත් නැත. පිරමිඩ ජාවාරම්කාරයෝ කෝටි ගණන් සල්ලි වංචා කරන්නේ, එක් එක් කෙනා රැවටීමෙනි. ඒවා මහා පරිමාණයේ ‘පික් පොකට්’ වුවද රට හෙල්ලෙන්නේ නැත.
ආණ්ඩුවට පික් පොකට් ගහන විට, අප සියලු දෙනාගේ පොකට්ටුවට එකවර විද්දා වැනිය. මේ නිසා වැනියන් කළු වැනීයන් කියා මේ ජාවාරම්මු තවදුරටත් සුරතල් කළ නොහැක්කේය.