චීනය සහ කාම්බෝජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 65 වන සංවත්සරය සැමරීමේ සංස්කෘතික සන්ධ්‍යාවක් අගෝස්තු 28 වන දින සන්ධ්‍යාවේ, කාම්බෝජයේ නොම් පෙන් අගනුවර දී පැවැත්විණ. එහි මීකොං ගඟ අසල දියමන්ති දූපත් ඔපෙරා රඟහලේ දී එම මුද්‍රා නාට්‍ය ප්‍රසංගය උත්කර්ෂවත් ලෙස වේදිකා ගත කරන ලදී. චීනයේ යුනාන් පළාතේ කලාකරුවන් සහ කාම්බෝජ කලා ශිල්පීන් එක්ව දෙරට අතර පවතින මිත්‍රත්වය මෙසේ අනගි කලා නිර්මාණයකින් ප්‍රදර්ශනය කළහ.
“එකම ගඟක ජලය බෙදාගන්නා අප අසීමිත සෙනෙහසින් බැඳුනෝ වෙමු” යන්න මෙම ප්‍රසංගයේ තේමාව විය. කිලෝමීටර් දහස් ගණනක් විහිදී යන වංගු සහිත ලන්සං-මීකොං ගංගාව චීනයේ චිංහායි-ටිබෙට් සානුවෙන් ආරම්භ වී යුනාන් හරහා ගමන් කර කාම්බෝජය හරහා දකුණට ගලා යයි. ප්‍රසංගයේ පළමු පරිච්ඡේදය ආරම්භ වූයේ චීනයේ යුනාන් හි දාලි ජනගීයක් වන “කුඩා ගඟේ ගලා යන ජලය” යන්නට චීන නර්තන ශිල්පීන් ඉදිරිපත් කල අලංකාර නර්තනයකිනි. එහි ගී පද “පුංචි ගංගාව ගලා යයි, ඉතා පැහැදිලි සහ සන්සුන්ව…” ලෙස ලියැවී ඇත. අනතුරුව කාම්බෝජ හා චීන ගායකයින් විසින් “එකම ගඟක ජලය බොමු” යන ගීය එක්ව ගයන ලදී.
“සදා ගලා යන ගංගාව ලෙස විරුදාවලි ලත් මේ ගඟ, උස් කඳු සහ නිම්න මතින් ගලා බසිද්දී, භූගෝලීය මායිම් පසුකරමින්, කඳු සහ තැනිතලා අතර ගලා යන විට, ඉවුරු දෙපස රළ ගසමින් මල් ගස් වලින් පමණක් නොව සශ්‍රීක තිරිඟු කෙත් සැතපුම් ගණනක් දුරට විහිවා ඇත, මෙය චීනය සහ කාම්බෝජය අතර ගැඹුරට මුල් බැසගත් සහ සමෘද්ධිමත් මිත්‍රත්වයේ බෝගය වන අතර එය වඩාත් විචිත්‍රවත් බැඳීමකට හේතුවන්නේ මේ ගඟයි”. ප්‍රසංගයේ ප්‍රධාන අධ්යක්ෂවරයා වන Qian Xuetao එසේ ප්‍රකාශ කරමින් කියා සිටියේ සන්ධ්‍යාවේ පළමු පරිච්ඡේදය “එකම ගඟක ජලය බොමු” ලෙස නම් කරනු ලැබුවේ සැබැවින්ම ලන්සං-මීකෙං ගඟේ අඛණ්ඩ ගලායාම මෙන් චීනය සහ කාම්බෝජය අතර කල් පවතින හා අවංක මිත්‍රත්වය ඉස්මතු කරන නිසා බවයි.
“එක්ව සමීප පවුලක් ගොඩනැගීම” යන තේමාව සමඟ කාම්බෝජ “මයුර නැටුම්”, චීන පීකිං ඔපෙරා, හුලුසි නළා සංදර්ශන සහ නර්තනයක් වැනි අංග රැසකින් ප්‍රසංගය වර්ණවත් විය. මෙම අංග මගින් චීනය සහ කාම්බෝජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට සබඳතා, අන්‍යෝන්‍ය ගෞරවය, සහයෝගය, සමාන හුවමාරුව, සහයෝගී ජයග්‍රහණ, විවෘතභාවය වැනි ආත්ම ප්‍රකාශන විදහා දැක්විණ.
“මයුර නැටුම කාම්බෝජයේ විශේෂ ස්ථානයක් හිමිකර ගනී, එය සිදු කරනු ලබන්නේ වඩාත් වැදගත් අවස්ථාවන්හිදී පමණි” යනුවෙන් කාම්බෝජ නර්තන ශිල්පී සැන් සිසේ පවසයි. මොනරා සුන්දරත්වය සහ පාරිශුද්ධත්වය සංකේතවත් කරයි. “අන්‍යෝන්‍ය විශ්වාසය සහ අවංක සහයෝගීතාවයෙන් සලකුණු කරන ලද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට කාම්බෝජය සහ චීනය අතර මිත්‍රශීලී සහ සහයෝගී සබඳතාවයේ අඛණ්ඩ වර්ධනය සහ උසස් බව අද රාත්‍රියේ මොනර නර්තනයේ කාර්ය සාධනය ප්‍රකාශ කරයි.”
ස්වභාවික කරවිල වලින් සාදන ලද හුළුසි, අද්විතීය හා ගැමි හඬක් නිපදවයි. මෙම සාම්ප්‍රදායික චීන භාණ්ඩය කාම්බෝජයේ ඛමර් ජනයාගේ සම්ප්‍රදායික සංගීත භාණ්ඩයට ස්වරයෙන් හා සංස්කෘතියෙන් සමාන වේ. චීන සාම්ප්‍රදායික සංගීතවේදියෙකු වන Xie Jun වාර්තාකරුවන්ට පැවසුවේ “දුර නෑයෙකුට වඩා සමීප අසල්වැසියෙකු වටිනේය”යන කියමනක් චීනයේ පවතින බවයි. චීනය සහ කාම්බෝජය හුදෙක් හොඳ අසල්වැසියන් සහ පැරණි මිතුරන් පමණක් නොව, “යකඩින් බැඳි” සහෝදරයන් ද වන බවට පණිවිඩයක් ලබා දීම සඳහා හුලුසි වාදනය සිදු කල බව ඔහු පැවසීය.
මෙම වසරේ චීනයේ “එක් තීරයක් සහ එක් මාවතක්” වැඩසටහනේ දසවන සංවත්සරය ද සනිටුහන් කරයි. උත්සවයේ තුන්වන පරිච්ඡේදයේ තේමාව වූයේ “එක්ව යන ගමනක්” යන්නයි. චීන ගීත, නැටුම් සහ කාම්බෝජ ගීත, නැටුම් වලින් එය විචිත්‍ර විය. “ස්වර්ණමය පොරොන්දුව” නමින් කාම්බෝජයේ ශිල්පශිල්පීන් මෙම ප්‍රසංගයේ දී ඉපැරණි සේද මාවත ඉතිහාසයේ සිට වත්මන දක්වා වූ ජවසම්පන්න ගමන වර්ණවත් ලෙස නිරූපණය කළේය.
කාම්බෝජ ප්‍රේක්ෂකයෙකු වූ Lisuo Ran “එක් තීරයක් හා එත් මාවතක්, මුලපිරීම මගින් කාම්බෝජයට අධිවේගී මහාමාර්ග, නව වරායන් සහ නව ගුවන් තොටුපළවල් එකතු වී ඇති බව සිහිපත් කළේය. ඒ නිසා කාම්බෝජයේ ප්‍රවාහන තත්ත්වය බෙහෙවින් දියුණු වී, චීන සමාගම් කාම්බෝජයේ විදුලිය සහ බලශක්තිය වැනි ක්ෂේත්රවල සහයෝගීතාවයට සම්බන්ධ වී කාම්බෝජ වැසියන් රැසකට රැකියා අවස්ථා උදා වී ඇති බවද ඔහු පැවසීය.
කාම්බෝජයේ වෙසෙන චීන ජාතික චෙන් බියාඕ වසර දහයක් නොම් පෙන් අගනුවර ව්‍යාපාර වල නිරතවන්නෙකි. දශකයකට පෙර, ඔහු සහ ඔහුගේ හවුල්කරුවන් පළාත් පාලන සහ ව්‍යාපාරික අන්තර්ජාල ප්‍රවර්ධනය සඳහා සේවා සැපයීම සඳහා චීන වීඩියෝ නිෂ්පාදන තාක්ෂණය කාම්බෝජය වෙත ගෙන එන ලදී. “චීන-කාම්බෝජ වෙළඳාම අඛණ්ඩව පුළුල් වන අතර අන්තර් සම්බන්ධතාව අඛණ්ඩව වැඩිදියුණු වේ. මෙමගින් අන්තර්ජාලය තුළ නව මාධ්‍ය ක්ෂේත්රය තුළ අන්‍යෝන්‍ය ප්‍රවර්ධනය සහ හඳුන්වාදීම සඳහා ඇති ඉල්ලුම වැඩි වී ඇති අතර, දෙරටේම තරුණ තරුණියන්ට ව්‍යවසායකත්ව අවස්ථා වැඩි කිරීමටද මෙය හේතු වී තිබේ.
පසුගිය දශකය තුළ චීනය සහ කාම්බෝජය අතර ඒකාබද්ධ “එක් තීරයක් සහ මාවතක්” සහයෝගීතා ව්‍යාපෘති සංවර්ධනය කිරීමත් සමඟ දෙරට අතර ආර්ථික හා වෙළඳ සබඳතා නව මානයකට පැමිණ තිබේ. චීනය කාම්බෝජයේ විශාලතම සෘජු විදේශ ආයෝජන ප්රභවය බවට පත්ව ඇති අතර අඛණ්ඩව වසර 11ක් පුරා කාම්බෝජයේ ප්‍රමුඛතම වෙළඳ හවුල්කරුවා ලෙස සිය ස්ථාවරය පවත්වා ගෙන ගොස් ඇත.
“ජාතියක පදනම එහි ජනතාව අතර මිත්‍රත්වය තුළ පවතී” යන තේමාවෙන් චීනයේ යුනාන් පළාත් මහජන රජයේ විදේශ සබඳතා සහ තොරතුරු කාර්යාලය විසින් කාම්බෝජයේ චීන තානාපති කාර්යාලය, කාම්බෝජයේ සංස්කෘතික හා කලා අමාත්‍යාංශය සමග එක්ව මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුණි. 2500 කට අධික පිරිසක් සහභාගී වූ මෙම ආකර්ශනීය ප්‍රසංගය මගින් “චීන සම්ප්‍රදායික සංස්කෘතික චමත්කාරය, යුනාන් ජනවාර්ගික ලක්ෂණ සහ චීන-කාම්බෝජ සංස්කෘතික හා කලාත්මක අංගයන් ඒකාබද්ධ කිරීම” විදහා දක්වා තිබුණි. මෙම ප්‍රසංගය නැවත වරක් දෙරට අතර සංස්කෘතික හුවමාරුව සහ අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කළ අතර, දෙරට අතර සබඳතාව සහ මිත්‍රත්වය ගැඹුරු කළේය.