හයවන ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන – 2023 උලෙළේහිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තුමෙන්තුව සමත් විය. එසේ සම්මාන ලබා දී ඇත්තේ සමාගම් සංස්ථාගත කිරීම ඇතුළු එම ආයතනයෙන් සිදු කරන සියලු කාර්යයන් විද්‍යුත් ක්‍රියාවලියක් ඔස්සේ සිදු කිරීමේ ව්‍යාපෘතිය ඉහළ ඇගැයීමකට ලක් කරමිනි. මෙම සම්මාන ද්විත්වය පිළිබඳවත් ඒ සඳහා සුදුසුකම් ලැබීම පිළිබඳවත් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් නීතිඥ සංජීව දිසානායක මහතා සහ එහි අතිරේක සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් සහ eROC ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකාරිනිය ලෙස කටයුතු කරන නීතිඥ සුනේත්‍රා ධර්මකීර්ති මහත්මිය සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූවකි.
ව්‍යාපෘති කළමනාකරණ ආයතනය (Project Management Institute-PMI) යනු ව්‍යාපෘති කළමනාකරණය සඳහා වන ලොව ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වන අතර, ව්‍යාපෘති කළමනාකරණ කුසලතා සංවර්ධන සඳහා කැපවූ ලොව ප්‍රමුඛතම ආයතනයයි. දශක පහකට වැඩි කාලයක් පුරා ලොව පුරා ක්‍රියාත්මක වන මෙම ආයතනය මිලියන සංඛ්‍යාත ව්‍යාපෘති වෘත්තිකයන් සඳහා වන ගෝලීය අධිකාරිය ලෙස ද හඳුන්වයි. එම ආයතනයේ ශ්‍රී ලංකා සංසදය විසින් මෙම සම්මාන උලෙළ සංවිධානය කරන ලදී.
මෙම ආයතනය විසින් අංශ 20ක් යටතේ එක් එක් කාණ්ඩය සඳහා ජයග්‍රාහකයා සහ අනුශූරතාව යන සම්මාන දෙකක් පිරිනමනු ලැබූ අතර, එහිදී සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තුමේන්තුව winner of the Best Managed Government Project සම්මානය සහ overall Best Managed Government Project with National significance සම්මානය ද හිමිවිය.
ලංකාවේ ප්‍රථම වතාවට කඩදාසි භාවිතයෙන් තොර සම්පූර්ණ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සියලුම සේවාවන් මහජනතාවට ලබාගැනීමට හැකි රාජ්‍ය ආයතනය සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තුමේන්තුවයි. ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට සේවාවන් ලබාගැනීමට සහ රාජකාරි කටයුතු කිරීමට හැකි ප්‍රථම රාජ්‍ය ආයතනය බවට මෙම පරිගණක පද්ධතිය නිසා පත්වීමට හැකි විය.
“මෙවැනි සම්මානයක් හිමිකර ගැනීමේ අපේක්ෂාවෙන් අපි කටයුතු කළේ නෑ. අපිට වුවමනා වුණේ නියමිත කාලරාමුවට මෙම ව්‍යාපෘතිය ඉහළ ඵලදායිතාවක් ඇති ආකාරයෙන් අවසන් කර Online ක්‍රමවේදයට සේවාවන් සැපයීමයි. කණ්ඩායමක් වශයෙන් අපි සාර්ථක වී ඇති බවයි මේ සම්මානවලින් කියවෙන්නේ. “එසේම අතිරේක සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් සුනේත්‍රා ධර්මකීර්ති මහත්මිය පවසා සිටියේ විදෙස් ආයෝජන මෙන්ම දේශීය ආයෝජන දිරිගැන්වීම සඳහා වන පළමු පියවර සමාගම් සංස්ථාපනය කිරීම විද්‍යුත් ක්‍රියාවලියක් ඔස්සේ ඉටුකිරීමේ පහසුකම තුළින් ආරම්භ වන බවයි.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී එය කෙතරම් පහසුවෙන් කළ හැකි දැයි හඳුනා ගැනීමට ගෝලීයව සැකසුණු නිර්නායකයන් පවතී. එය Doing Business Index ලෙස හඳුන්වයි. ඒ අනුව ලොව රටවල් එම දර්ශකය අනුව අංකනය කෙරේ. මේ දර්ශකය සැකසීමේදී ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා වන නෛතික ක්‍රියාවලිය කොතරම් කාර්යක්ෂමව ඉටුකරගත හැකි ද? යන්න ඉතා වැදගත්. ආයෝජන ඉහළ නැංවීම සඳහා මෙවැනි පහසුකම් දියුණු කිරීම ඉදිරි දැක්මකින් යුතු රටකට ඉතාමත් වැදගත්. 2018 දී මේ අරමුණ පෙරදැරිවයි eROC ව්‍යාපෘතිය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ස්ථාපිත කිරීම සඳහා මූලික පියවර ආරම්භ කළේ.
මේ අනුව මාස 09ක් වැනි කෙටි කාලයකදී මෙම ව්‍යාපෘතිය ඉටුකර මාර්ගගත ක්‍රමයකට අනුවර්තනය වීම අත්‍යවශ්‍ය වුණා. එවැනි කෙටි කාලයකදී මෙබඳු ව්‍යාපෘතියක් නිවැරැදි දිශානතියට මෙහෙයවීම සැබෑ අභියෝගයක්. එම කළමනාකරණය කිරීමේදී පාර්ශ්ව කීපයක් අප හා කටයුතු කරනවා. සමාගම් ලේකම්වරු, අප සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තුමෙන්තුවේ නිලධාරීන් මෙන්ම නිතිපතා අප වෙතින් සේවාවන් අපේක්ෂිත සේවාදායිකයින්. ඒ අය කලක් තිස්සේ කඩදාසි භාවිතය මඟින් ඉටුකරන සේවාව (හස්ථ ක්‍රමය) හුරු වූ සේවාදායකයන්, නිලධාරීන් මෙම ක්‍රමයට අනුගත කරවා ගැනීම මඟින් සම්පූර්ණ ක්‍රියාවලිය විශාල වෙනසකට ලක්විය. ඇතැම් සමාගම් ලේකම්වරු මේ මාර්ගගත පද්ධතිය නිසා තමන්ගේ වෘත්තීමය කටයුතුවලට අවාසිදායක තත්ත්වයක් උදාවේවි යැයි අනුමාන කළා. අපි කණ්ඩායමක් වශයෙන් මෙම සියලු අභියෝග ජයගැනීම සඳහා පද්ධතිය සමඟ සම්බන්ධව කටයුතු කරන පාර්ශ්වකරුවන් (stakeholders) මනා ලෙස දැනුවත් කිරීමටත් මෙමඟින් සිදුවන ඵලදායි සේවාව පැහැදිලි කිරීමටත් එපමණක් නොව තාක්ෂණික ගැටලු විසඳා ගැනීම සඳහා ද පාරිභෝගික අංශයක් ඇති කිරීම තුළින් ඔවුන්ට පහසුකම් සලස්වා තිබෙනවා. මේ පද්ධතිය පිළිබඳව පැවති දුරවබෝධය නැති කිරීම සඳහා පියවර කීපයක්ම ගත්තා. ඒ අතර, දැනුම්වත් කිරීමට මූලිකත්වය දුන්නා. මෙවැනි පද්ධතියක් මඟින් සේවය සැපයීම මඟින් කාලය, ශ්‍රමය මෙන්ම මුදල් ඉතිරිවෙන රටට වාසි රැසක් අත්වන බව ඒත්තු ගැන්වීමට ඒ තුළින් හැකි වුණා.”
සම්මානයක් සතුට ලැබීමේ බෙදාගැනීමේදී පහත පිරිස් ඉටුකළ කාර්යභාරය පිළිබඳව සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්තුමා මෙන්ම අතිරේක සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්තුමිය සිහිපත් කළා.
“එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කළ රිෂාඩ් බදුර්දීන් මැතිතුමා මෙන්ම එවකට එම අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මැතිතුමා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මනා අවබෝධයකින් හා ඉදිරිගාමී දැක්මකින් යුතුව සහාය ලබා දුන්නා. අයදුම්කරුවෙකුට වඩාත් පහසු ආකාරයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ නීත්‍යනුකූල විද්‍යුත් ලේඛනයක් (e – certified copies, e – file search ,e -payment) ලබා දීම මෙන්ම මාර්ගගත ක්‍රමයට ගෙවීම් කටයුතු සිදු කිරීම ආදී සෑම අංශයකින්ම පරිපූර්ණ සේවාවක් ලෙස eROC පද්ධතිය සැකසීම ඔවුන්ගේ දැක්ම වුණා.
වත්මන් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමා මෙන්ම වත්මන් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මැතිනිය මෙම eROC ව්‍යාපෘතිය යාවත්කාලීනව පවත්වා ගැනීමට මනා සහායක් ලබා දෙනවා.”
එපමණක් නොවෙයි මෙම පද්ධතිය සැකසීමේ කටයුතු සිදු කළේ KPMG ආයතනයයි. එහි ව්‍යාපෘති කළමනාකරු ගනේෂ් විජේනායක මහතා නිරන්තරව මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කරනවා. එමෙන්ම ඉවසීමෙන් හා කැපවීමෙන් යුතුව මෙම පද්ධතිය සඳහා පුරුදු වූ සැවොම මේ වෙනුවෙන් යම් කාර්යයක් ඉටුකර තිබෙනවා.”
eROC පද්ධතියේ මේ වන විට ලියාපදිංචි වී ඇති පරිශීලකයන් ප්‍රමාණය ලක්ෂ දෙක ඉක්මවයි. මෙම පද්ධතිය නිසා සමාගමක් ලියාපදිංචි කිරීමට අවැසි කෙනෙකුට සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තුමෙන්තුවේ eROC පද්ධතියට වෙත https://eroc.drc.gov.lk යන වෙබ් ලිපිනයට පිවිස තමන්ට අවැසි සේවාවක් සඳහා අයදුම් කළ හැක. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තුමෙන්තුවේ නිලධාරීන්ට ද ආයතනය තුළදී පමණක් නොව මාර්ගගත ක්‍රමයට කටයුතු කළ හැකි ඕනෑම තැනක සිට සේවයේ නිරතවීමේ පහසුකම් ලබා දී තිබේ. මෙය රජයේ දෙපාර්තුමේන්තුවක් ලෙස ගත්කල විශාල වෙනසක් හා විශාල ඉදිරි පියවරක් ලෙස සලකන්න පුළුවන්.
සමාගමක් සංස්ථාගත කිරීමට 2007 අංක 7 දරන සමාගම් පනත පිළිබඳ අවබෝධයක් තිබීම අවශ්‍ය වෙයි. අලුතෙන් පැමිණෙන පුරවැසියන් සඳහා පැහැදිලි user guides වෙබ් අඩවියෙන් ලබාගත හැක.
රාජ්‍ය අංශය පිළිබඳව මැසිවිලි වැඩි වකවානුවක මෙවන් සම්මාන රජයේ සේවාවන් පිළිබඳව නව සුබ අනාගතයක් පිළිබඳව පෙරනිමිති සපයයි. කාර්යක්ෂමතාවය ඉතා ඉහළ අගයකින් පවත්වා ගැනීමට මෙම දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී ඇත. මේ දක්වා 84,000 කට අසන්න සමාගම් සංඛ්‍යාවක් මෙම පද්ධතිය හරහා සංස්ථාගත කර ඇත. මෙය ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් 100% ක් වසර 5ක් ඇතුළත ලබාගැනීමට හැකිවීම විශේෂයකි.
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තුමේන්තුව මෙවන් විසල් කටයුත්තක් ඉටුකරනුයේ එම ආයතනය තුළ තොරතුරු තාක්ෂණ අංශයේ නූතන තාක්ෂණික දැනුමැති නිලධාරීන් කිසිවෙකු හෝ නොමැති වීමත් විශේෂත්වයකි. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තුමේන්තුවෙන් සමාගම් පිළිබඳ තොරතුරු ලබාගැනීමට අවශ්‍යය රජයේ ආයතන හෝ වෙනත් ඕනෑම අයෙකුට මෙම online ක්‍රමය හරහා එම සේවය ලබාගන්නා ලෙස එතුමිය තවදුරටත් දැනුම්වත් කරයි. eRoC පද්ධතිය වෙත පිවිස දැනටමත් තොරතුරු පරිශීලනය කරන ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව මෙන් අනෙකුත් රාජ්‍ය ආයතන ද මෙම තොරතුරුවලින් නිසි ප්‍රයෝජන ලබාගන්නා ලෙසයි.” මේ තොරතුරු අයිති රජයට. ඒ නිසා ඉන් නියම ප්‍රයෝජන ගත යුතුයි. මෙහි සැබෑ වටිනාකම ලබාගත හැක්කේ රේගු දෙපාර්තමේන්තුව වැනි සමාගම් සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ආයතන online ක්‍රමයට එකාබද්ධ වී සේවාවන් සපයන්නේ නම් එය ව්‍යාපාරික ප්‍රජාවට තම කටයුතු වඩාත් පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව සැලසේ.
උදාහරණයක් විදිහට කෙනෙක් eROC හරහා සමාගමක් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව බදු ලේඛනයක් විවෘත කිරීම සඳහා නැවත එම ආයතනය වෙත ලේඛන රැගෙනයාම වෙනුවට eROC පද්ධතිය හරහාම එම ආයතන වෙත ප්‍රවේශවීමේ හැකියාවක් සමාගමට ලබාදිය යුතුය. මෙම eROC ව්‍යාපෘතිය මඟින් දේශීය විදේශීය ආයෝජකයන් දිරිගැන්වීමක් වන අතර, රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දියුණුවට මෙම ආයතනය online ක්‍රමවේදය තුළින් ඉතා ගුණාත්මක සේවයක් සැලසීමට හැකිවේ යැයි අප විශ්වාස කරමු.