Home » නවලෝක රෝහල් සමූහය රුපියල් මිලියන120ක බදුපෙර ලාභයක්

නවලෝක රෝහල් සමූහය රුපියල් මිලියන120ක බදුපෙර ලාභයක්

by mahesh
September 1, 2023 1:00 am 0 comment

නවලෝක රෝහල් සමූහය 2023 වර්ෂයේ ජූනි 30වන දිනෙන් අවසන් වන පළමු කාර්තුවේදී රුපියල් මිලියන 120ක බදුපෙර ලාභයක් වාර්තා කරන ලදි. පසුගියදා නිකුත් කරන ලද අන්තර්කාලීන මූල්‍ය වාර්තාව මඟින් මෙම මූල්‍ය කාර්යසාධනයන් ප්‍රකාශයට පත් කළ අතර, පසුගිය මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව සමාගමේ බදු පෙර ලාභය 158% කින් වර්ධනයක් අත්පත්කර ගැනීමට සමත් වී ඇත. මෙම මූල්‍ය වාර්තාව මඟින් නවලෝක රෝහල් සමූහය විසින් මෑතකදී සිදු කළ ව්‍යුහාත්මක වෙනස්කම්, වැඩිදියුණු කරන ලද සායනික සේවා සහ විශිෂ්ට රෝගී සත්කාරක සේවා ආදී ධනාත්මක මෙහෙයුම් ක්‍රියාකාරීත්වයන් මෙම මූල්‍ය කාර්යසාධනය සඳහා හේතු විය. නවලෝක සමූහයේ පිරිවැටුම රුපියල් බිලියන 2.6ක් වූ අතර, එය පෙර වර්ෂයේදී වාර්තා කරන ලද රුපියල් බිලියන 2.1ට සාපේක්ෂව 21%ක වර්ධනයක් පෙන්නුම් කරයි. මීට සමාන්තරව නවලෝක සමූහයේ මෙහෙයුම් ලාභය රුපියල් රුපියල් මිලියන 580ක් වූ අතර, එය පෙර වර්ෂයේ සටහන් වූ රුපියල් මිලියන 200ට සාපේක්ෂව 185%ක වර්ධනයක් අත්කර ගෙන ඇත.

නවලෝක රෝහල් සමාගමේ කොටසක ඉපැයීම 0.067ක් ලෙස මෙම වර්ෂයේදී සටහන් වූ අතර, මෙම අගය පෙර වසරේ වාර්තා වුණේ 0.003ක් ලෙසටය. නවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ නායකත්වය තුළ අත්පත් කර ගනු ලැබූ මෙම විශිෂ්ට මූල්‍ය කාර්යසාධනය සමඟින් නවලෝක රෝහල් සමූහය අමරණීය මතක සටහන් ගණනාවක් වාර්තා කර ගැනීමට ද සමත් විය. හෘද සැත්කම් සඳහා පහසුකම් ස්ථාපනය කළ පළමු පුද්ගලික රෝහල් සමූහය ලෙස නවලෝක රෝහල් සමූහය මෙම වසරේදී හෘද සැත්කම් ක්ෂේත්‍රයේ සැත්කම් 15,000ක් සම්පූර්ණ කළ පළමු පුද්ගලික රෝහලට හිමි වාර්තාවට හිමිකම් කියූ අතර, අතිශය පුද්ගලික රෝහල් සේවා සඳහා විවෘත කළ නවලෝක Elite Center ඒකකය සහ මුළුමනින්ම වැඩිදියුණු කළ බාහිර රෝහල් සේවා ඒකකය සහ නවලෝක home nursing care ඒකකයන් මඟින් වඩාත් විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට නවලෝක රෝහල් සමූහයට හැකියාව ලැබී ඇත. එමෙන්ම මෑතකදී ICBT උසස් අධ්‍යාපන ආයතනය සමඟින් එළැඹි අවබෝධතා ගිවිසුමට අනුව ජාත්‍යන්තර මට්ටමේ හෙද සේවා අධ්‍යාපනික පාඨමාලාවන් තම හෙද කාර්ය මණ්ඩලය වෙත හඳුන්වා දුන් අතර, එමඟින් සිය හෙද කාර්ය මණ්ඩලයේ වෘත්තීය ගුණාත්මකභාවය වර්ධනය කිරීමට නවලෝක රෝහල් සමූහය විසින් පියවර ගන්නා ලදි.

මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වන නවලෝක සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස ” මෙම සැලකිය යුතු මූල්‍ය කාර්යසාධනය මඟින් පසුගිය වසරේදී නවලෝක සමූහය මුහුණ දුන් දැඩි අභියෝගාත්මක තත්ත්වය හමුවේ නොසැලී හිඳිමින් මේ සියලු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට හැකි වූ බව මනාව පිළිබිඹු කරන අතර, ඒ සියලු අභියෝගයන් මධ්‍යයේ අපගේ රෝහල් සේවාවේ ගුණාත්මක බව හැම විටම ඉහළින් තබා කටයුතු කිරීමට අපට හැකි වූ අතර, සමාජයට වගකියන ආයතන සමූහයක් ලෙස සමාජයට අපෙන් ඉටුවිය යුතු සෑම වගකීමක් ම නොපිරිහෙළා ඉටුකිරීමට අපට හැකි වුණා. අපි පුරෝකථනය කරන ආකාරයට මෙම මූල්‍ය වර්ෂයේ ඉදිරි කාර්තු මීට වඩා සාර්ථක කර ගැනීමට අපේක්ෂා කරන අතර, මේ සඳහා සමූහයේ සියලු පාර්ශ්වයන්ගේ උපරිම දායකත්වය නිසැක වශයෙන්ම හිමිවන බව මට විශ්වාසයි” යනුවෙන් පැවසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT