Monday, April 21, 2025
Home » මිනිපේ ගොවීන්ගේ වී අස්වනු මිලට ගන්න කෙනෙක් නෑ

මිනිපේ ගොවීන්ගේ වී අස්වනු මිලට ගන්න කෙනෙක් නෑ

by gayan
August 26, 2023 1:00 am 0 comment

  • මෙවර අස්වැන්නත් පෞද්ගලික වෙළෙන්දාට
  • හසුවෙතැයි ගොවීහු බියෙන්

මිනිපේ මහ ගොවි ජනපදයේ මෙවර යල කන්නයේ අස්වනු නෙලීම ආරම්භ වී ඇතත් එම නිෂ්පාදිත වී අස්වනු මිලදී ගැනීමට කිසිදු රාජ්‍ය ආයතනයක් මෙතෙක් කටයුතු නොකිරීම නිසා පෙර කන්නවල මෙන්ම පෞද්ගලික වෙළෙන්දාගේ ග්‍රහණයට මෙවරත් ගොවියාට හසුවීමට සිදුව ඇති බව ගොවීහු සඳහන් කරති.

ජනපදයේ පළමු හා දෙවන පියවරයන්වල මෙලෙස අස්වනු නෙලීම ආරම්භ කර ඇති අතර, මෙම කොටසේ සමස්ත මුළු වගා බිම් ප්‍රමාණය වන්නේ අක්කර 10,628කි. මෙවර වී වගා කර ඇත්තේ එම ප්‍රමාණයෙන් සියයට 90ක් වන අක්කර 9,034ක ප්‍රමාණයකි. ඉතිරි සියයට දහයක ප්‍රමාණය ගොවීන් තම කුඹුරුවල බඩ ඉරිඟු ඇතුළු අතිරේක බෝග වගා කරයි.

වී අලෙවි මණ්ඩලය සතුව කොළොංගොඩ, හසලක, පල්ලේවත්ත සහ මොරයාය යන ප්‍රදේශවල ගබඩා සංකීර්ණ හතරක් ඇත. එහෙත් එම ආයතන ගොවියා වෙනුවෙන් සහනයක් ගෙන දීමට පියවරක් ගැනීමක් මෙතෙක් සැලසුම් කර නැති බවට ගොවීහු චෝදනා කරති.

මිනිපේ ගොවියා ගැන වී අලෙවි මණ්ඩලය මෙලෙස අවතක්සේරු කොට සලකන්නේ ගොවියා අලෙවි කරන වී ප්‍රමාණය තම ආයතනයට ප්‍රමාණවත් නොවන හෙයින් බව පෙන්වාදෙන ගොවීන් මෙම ජනපදය අම්පාර කොට්ඨාසයට සම්බන්ධ කර ඇති නිසා එම ප්‍රදේශයේ වී මිලට ගෙන මුදල් ඉතිරි වුවහොත් පමණක් මිනිපේ ගොවියාගේ වී මිලදී ගැනිමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බවද ගොවීහු පවසති.

සිය අස්වනු සාධාරණ මිලකට ගොවියාට ලබා දීමට නම් හසලක සහ මහියංගණ ගොවි ජනපද වෙනම කලාපයක් බවට පත් කර එම කලාපයට යම් මුදලක් වෙන් කිරීම තුළින් ගොවියා පත්ව සිටින අපහසුතාවයෙන් මුදා ගත හැකි බවද ඔවුහු සඳහන් කරති.

හසලක සමූහ ඊ.එම්.එස්. ඒකනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT