මන්දමානසික තරුණියක සමූහ දූෂණයට ලක් කළ සිද්ධියකට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු පලා ගොස් සැඟව සිටියදී සිද්ධියෙන් වසර 12කට පසුව අත්අඩංගුවට හැකි වීමේ පුවතක් රිදීගම පොලිසියෙන් වාර්තා වේ.
ඉකුත් 2011 වසරේ මේ දූෂණ සිද්ධිය වාර්තා වී තිබේ රිදීගම පොලිස් බල ප්‍රදේශයට අයත් කරඳගොල්ල මීගස්තැන්නේ පදිංචි සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් බුලත්කොහුපිටිය ප්‍රදේශයේ වෙනත් නමකින් පෙනී සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. සැකකරු තම ගම් ප්‍රදේශයේම පදිංචි මිතුරන් සිව් දෙනෙකු සමඟ එක්ව මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංචි අවිවාහක 34 හැවිරිදි තරුණියක සමූහ දූෂණයට ලක් කර ඇති බව පොලිසිය පවසයි. ඒ වන විට 24 වියෙහි විවාහකයකු වූ ප්‍රධාන සැකකරු අහම්බෙන් සම්බන්ධ වූ දුරකතන ඇමතුමක් මාර්ගයෙන් යටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක සමඟ මිතුරු වී හමු වීමක් සඳහා ඉබ්බාගමුවට පැමිණෙන ලෙස දන්වා ඇත. තමා සමඟ දුරකතනයෙන් කතාබස් කරන තරුණිය මන්දමානසික තත්ත්වයක පසු වන අයකු බව නොදැන සිටි සැකකරු ඉබ්බාගමුවට පැමිණි තරුණිය එම ප්‍රදේශයේ ලැගුම්හලකට කැටුව ගොස් පසු දිනට පහන් වන තෙක්ම තම මිතුරන් සිව්දෙනා සමඟ සමූහ දූෂණයකට ලක් කර ඇති බවද පොලසිය කියයි.
පසුදින ආපසු නිවෙසට ගිය ඇය මේ සිදුවීම තම මවුපියන්ට දැන්වීමෙන් පසු ඔවුන් කළ පැමිණිල්ලකින් අනතුරුව දූෂණ සිද්ධියට සම්බන්ධ තරුණයන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාට එරෙහි නඩුව මේ වන විට කුරුණෑගල මහාධිකරණයේ විභාග වෙමින් පවතී. මේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසියට හසු වෙතැයි බියෙන් ප්‍රදේශයෙන් පලා ගොස් බුලත්කොහුපිටිය ප්‍රදේශයේ රැඳී සිට ඇති බවද පොලිසිය පවසයි.
එහිදී වසර 12කට ආසන්න කාලයක් වෙනත් නමකින් කුලී වැඩ කරමින් ජීවත්ව ඇති සැකකරු නීත්‍යනුකූල නොවන විවාහයක්ද සිදු කරගෙන තිබේ. නීත්‍යනුකූල පළමු බිරියට දරුවන් නැති අතර දෙවන විවාහයෙන් දරුවකු ලැබී ඇති බවද පැවසේ.
රිදීගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසුව මීට වසර 12කට පමණ ඉහත සිදුවූ මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නැවත ඇරඹූ රිදීගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත සුබසිංහ මහතාට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියකු මාර්ගයෙන් මේ සැකකරු සම්බන්ධ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වී තිබේ. හඳුනාගැනීම සඳහා සැකකරුගේ සේයාරුවක් හෝ නැතිව වුවද දින ගණනක අසීරු මෙහෙයුමකින් පසු ප්‍රධාන සැකකරු බුලත්කොහුපිටියේ නිවෙසක රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට හේමන්ත සුබසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායම සමත් වී තිබේ.
වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් රිදීගම පොලිස් ස්ථානාධිපති (පො.ප) හේමන්ත සුබසිංහ, සැරයන් (29149) කුලසේකර, (99180) බණ්ඩාර, පොලිස් රියැදුරු සැරයන් (9118) තිලක් යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.
කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න, පොල්පිතිගම – නන්දන කැලේගම