පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රභාත් ඒකනායක මහතාට දුරකතනයෙන් කතා කොට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයට පැමිණෙන ලෙසත් නොපැමිණිය හොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවටත් කළ දැනුම් දීමක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය දක්වා සිසුන් මහාචාර්වරයාට විරුද්ධව කොළඹදී විරෝධයක් පැවැත්වීමට නියමිත බවට තොරතුරු ලැබී තිබෙන බැවින් ප්‍රකාශයක් ගැනීම සඳහා කොළඹට පැමිණෙන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයා දැනුම් දී තිබෙන අතර, නොපැමිණිය හොත් අත්අඩංගුවට ගැනීමට සිදු වන බවද පවසා ඇත.
පසුගිය 20 දින පීඨාධිපතිවරයාගේ දුරකතනයට අදාළ අංකය මඟන් පෙරවරු 11.00ත් 11.46ත් අතර ඇමතුම් 5ක් ලබා ගෙන තිබේ.
එම ඇමතුම් ගැනීමට නොහැකි වීම නිසා මහාචාර්වරයා දහවල් 12.35ට පමණ එම අංකයට ඇමතුමක් ගෙන ඇත. ඒ අවස්ථාවේ තමන් නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර බව පවසමින් පුද්ගලයකු කතා කළ බවත් ප්‍රකාශයක් ගැනීමට 21 දින පොලිස් මූලස්ථානයට පැමිණෙන ලෙස ඔහු දැනුම් දුන් බවත් මහාචාර්යවරයා පොලීසියට පැමිණිල්ලක් කරමින් ප්‍රකාශ කර තිබේ.
මේ ඇමතුම ලැබුණු විගස ඒ සම්බන්ධව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම්වත් කිරීමට මහාචාර්ය ප්‍රභාත් අත්තනායක මහතා පියවර ගෙන ඇත. අදාළ අංකය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු භාවිත කරන්නක් නොවන බව එහි දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී තිබේ. මෙදින දහවල් 12.00ට පමණ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර බව පවසමින් පේරාදෙණිය පොලිසියට ද අදාළ පුද්ගලයා කතා කර තිබේ. එම අවස්ථාවේ ඇමතුම ලබාගත් කාන්තා පොලිස් කොස්තාපල්වරියගෙන් ඔහු මහචාර්යවරයාගේ දුරකතන අංකය ඉල්ලා ගෙන ඇත්තේ විමර්ශනයක් සඳහා අවශ්‍යය බව පවසමිනි.
පීඨාධිපතිවරයා දුරකතනයෙන් බැණ තර්ජනය කළ බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පසුගිය දා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
මේ සිදුවීමත් සමඟ සභාපතිවරයා හා ඔහුට හිතවත් සිසුන් තමන් සමඟ අමනාපයෙන් පසු වන බැවින් මේ දුරකතන ඇමතුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස පීඨාධිපතිවරයා පැමිණිල්ල මඟින් ඉල්ලා ඇත. මේ පැමිණිල්ල සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කරමින් අදාළ දුරකතන අංකය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර තිබේ.