Home » කෘෂිකර්ම තාක්ෂණික හුවමාරුවකට වියට්නාම-ශ්‍රී ලංකා මූලික සාකච්ඡාවක්

කෘෂිකර්ම තාක්ෂණික හුවමාරුවකට වියට්නාම-ශ්‍රී ලංකා මූලික සාකච්ඡාවක්

වියට්නාම් තානාපතිනිය ඇමැති අමරවීර හමුවෙයි

by gayan
August 26, 2023 1:00 am 0 comment

වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර කෘෂිකාර්මික තාක්ෂණික හුවමාරු වැඩපිළිවෙළක් සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම සම්බන්ධව මූලික සාකච්ඡාවක් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සහ වියට්නාම් තානාපතිනි Ho Thi Thanh Truc මහත්මිය ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (24) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි. වියට්නාමය මේ වනවිට බහුල ලෙස කෘෂි තාක්ෂණය යොදා ගැනීම සිදු කරන අතර, කෘෂි පර්යේෂණ, වැඩි අස්වැන්නක් ලබා ගත හැකි නව බීජ, පශු පාලනය, පසු අස්වනු හානි අවම කර ගැනීම වැනි අංශවලදී ඉහළ සඵලතාවක් අත්පත් කර ගෙන ඇත. අප රටේ කෘෂිකාර්මික අංශය සඳහා නව කෘෂි තාක්ෂණය යොදා ගැනීම මේ වනවිට බහුල වශයෙන් සිදු කෙරුණ ද ඉන් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට නම් තවදුරටත් මේ රටේ ගොවි ජනතාව නව කෘෂි තාක්ෂණය සඳහා යොමු විය යුතුය. මේ නිසා දැනට අප රටේ භාවිතා වන කෘෂි තාක්ෂණය තවදුරටත් පුළුල් කිරීමට රජය ප්‍රමුඛත්වය ලබාදීමේ පියවරක් ලෙස මේ සාකච්ඡා ක්‍රියාත්මක විණි. වියට්නාම් රජය හා ශ්‍රී ලංකා රජය අතර, කෘෂි තාක්ෂණික හුවමාරුව සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹීම අතිශයින් වැදගත් බව මේ අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. පසුගිය කාලය තුළ පැවැති අපහසුතා මඟහරිමින් මේ වනවිට වත්මන් රජය යටතේ සෑම අංශයකම පුළුල් පිබිදීමක් ඇති කිරීමට රජයට හැකි වී ඇතැයි ද අමරවීර මහතා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාව මේ වන විට සහල් සහ වී නිෂ්පාදනයෙන් මෙන්ම තවත් අතිරේක භෝග රැසකින් ස්වයංපෝෂිත මට්ටමට ආසන්නව සිටිය දී නියඟය තත්ත්වයට මුහුණ දීමට සිදු වූ බව ද ඇමැතිවරයා තානාපතිනිය හමුවේ පෙන්වා දුන්නේය. මෙහිදී අදහස් පළ කළ තානාපතිනිය වියට්නාමය ආසියානු කලාපයේ වැඩිම වී අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේද රැසක් හඳුන්වා දී ඇති බවත්, වියට්නාමයේ කෘෂි අංශයේ නව තාක්ෂණය ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන බව ද සඳහන් කළාය. විශේෂයෙන් ශ්‍රී ලංකාව ද වියට්නාමය මෙන් කෘෂිකර්මාන්තයට හා ධීවර අංශයට ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නේ නම් ආහාර අර්බුද සඳහා හොඳින් මුහුණ දිය හැකි බව ද ඇය ප්‍රකාශ කළාය. වියෙට්නාමය විසින් 2021-2025 දක්වා කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සඳහා මාර්ග සිතියමක් හඳුන්වා දී ඇති බවත්, එමඟින් අනාගත ඉලක්ක රැසක් සාක්ෂාත් කර ගැනීමට හැකිවනු ඇතැයි ද තානාපතිනිය කීවාය. කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සහ අතිරේක ලේකම්වරු ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT