Sunday, April 20, 2025
Home » ජාතික මහා ක්‍රීඩා තරගාවලිය උත්සවශ්‍රීයෙන් ඇරඹේ

ජාතික මහා ක්‍රීඩා තරගාවලිය උත්සවශ්‍රීයෙන් ඇරඹේ

පළමු දිනයේම නව තරග වාර්තා 2ක්

by mahesh
August 25, 2023 1:02 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර සහ නිරෝෂාන් ප්‍රියංකර ඡායාරූප රංජිත් අසංක සහ සුදත් නිශාන්ත

හතළිස්හත් වැනි ජාතික මහා ක්‍රීඩා තරගාවලිය අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා හා ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ඉදිරියේ ආරම්භ වූ ජාතික මහා ක්‍රීඩා තරගාවලියට දේශීය සංස්කෘතිය ඔප් නැංවෙන අර්ථවත් නර්තන රැසක් එක් කොට තිබිණි.

පළාත් නවයේ ක්‍රීඩා නිලධාරීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සුගතදාස ක්‍රීඩාංගණයේ ආචාර පෙළපාළියට එක් වූ අතර, ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්ෂක තූර්ය වාදක කණ්ඩායම් සංදර්ශනය සංගීතවත් කළේය.

ක්‍රීඩා උලෙළ විවෘත කිරීමේ ප්‍රකාශය අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සිදු කළ අතර, ඒ සමඟ ජාතික ධජයේ වර්ණ සංකේතවත් කරමින් උඩුගුවන සිසාරා බැලුන් මුදා හැරීමක් සිදු විය.

මීට පෙර ජාතික මහා ක්‍රීඩා තරගාවලිය පැවති ඌව පළාතේ ක්‍රීඩා නිලධාරීන් විසින් ක්‍රීඩා උලෙළේ ධජය බස්නාහිර පළාත් ක්‍රීඩා නිලධාරීන් වෙත භාර දීම සිදු වූ අතර, අනතුරුව බස්නාහිර පළාත් ක්‍රීඩා නිලධාරීන් විසින් බස්නාහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක වෙත එම ධජය භාර දීම සිදු කෙරිණි.

ක්‍රීඩා උලෙළේ පහන දැල්වීම ජාතික හා ජාත්‍යන්තර තරගවලදී මල්ලවපොර සහ ජූඩෝ ක්‍රීඩාවල දස්කම් දක්වා ඇති බස්නාහිර පළාතේ ඊ. එම්. එල්. ප්‍රියංකර සහ ජාතික තලයේ කෙටිදුර ධාවන ශූරී ශිවන්ති ජයතිලක විසින් සිදු කළහ.

ඊයේ තරගාවලියේ පළමු දිනයේ කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් හා කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් නව තරග වාර්තා දෙකක් බිහි වුණි.

කාන්තා රිටි පැනීමේ ඉසව්වේ උතුරු පළාතේ නෙසරාසා දක්ෂිතා මීටර් 3.50කින් නව වාර්තාව පිහිටුවූවාය. එහි පැරණි වාර්තාව 2017 උතුරු පළාතේම ජේ. අනීතා මීටර් 3.48කින් පිහිටුවා තිබිණි. මේ ඉසව්වේ රිදී පදක්කම බස්නාහිර පළාතේ යූ.ටී. වික්‍රමසේකර මීටර්. 3.20කින් ද ලෝකඩ පදක්කම මධ්‍යම පළාතේ කේ.ඒ.සී.කේ. කොඩිතුවක්කු (මී. 3.00) දිනා ගත්හ.

කාන්තා කවපෙත්ත විසි කිරීමේදී නව තරග වාර්තාව බිහි කරමින් රන් පදක්කම දිනා ගැනීමට උතුරුමැද පළාතේ ඒ.ජී.වී.වී. ලක්මාලි මීටර් 44.59කින් දක්ෂතා දැක්වූවාය. එහි පැරණි වාර්තාව 2008දී එස්.ජී.පී. විජේසුන්දර (මී.44.17) පිහිටුවා තිබිණි.

මේ ඉසව්වේ රිදී පදක්කම මී.44.72කින් බස්නාහිර පළාතේ ඉෂාරා මධුරංගි හා ලෝකඩ පදක්කම බස්නාහිර පළාතේම චානුකා අතපත්තු මීටර් 37.33කින් දිනා ගත්හ.

ඊයේ පැවති අවසන් තරගවලදී මධ්‍යම පළාතේ එච්. එම්. එන්. ජී. ඩබ්. එම්. හේරත් (කාන්තා මී.10,000), බස්නාහිර පළාතේ හේමන්ත කුමාර (පිරිමි මී.5000), බස්නාහිර පළාතේ ඊ.එම්.එස්. උපේක්ෂා (කාන්තා තුන්පිම්ම), සබරගමුවේ ආර්.එම්.එස්.ජේ. රණසිංහ (පිරිමි හෙල්ල විසිකිරීම), රන් පදක්කම් දිනාගත් අතර, මීටර් 100 සහාය ඉසව්වෙන් කාන්තා හා පිරිමි රන් පදක්කම දෙකම දකුණු පළාත සතු විය.

තරගාවලියේ දෙවැනි දිනය වන අද ඉසව් 14ක අවසන් තරග පැවැත්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT