Home » ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය වසර 10කට පසු කෝප් කමිටුව හමුවට

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය වසර 10කට පසු කෝප් කමිටුව හමුවට

by chanaka
August 25, 2023 5:08 pm 0 comment

පාර්ලිමේන්තු මන්ත්‍ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ(24) රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය කැඳවා තිබිණි.

මෙහිදී 2019 වර්ෂය සදහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබද පරීක්ෂා කිරීම සිදුවූ අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි.

මෙහිදී පහත සදහන් කරුණු පිළිබද අවධානය යොමුවිය.

පනත කඩිනමින් යාවත්කාලීන කිරීම
2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතන පනත යටතේ පිහිටුවා ඇති මෙම ආයතනයේ පනත වත්මන් අවශ්‍යතාවට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් කමිටුව ඒ සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දෙන ලදී.

අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ ගැටලුව
2008 වසරේ පත්වීම් ලබා ඇති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා 2019 වසරේදී වැඩතහනමකට ලක්ව 2020 වසරේ සේවයේ නැවත පිහිටුවා ඇති බව හෙළිවිය. විධිමත් විනය පරීක්ෂණයකින් තොරව වැඩතහනමට ලක්වූ කාලට අදාළව වැටුප් සහ දීමනා ලෙස රු.556108ක මුදලක් ද ගෙවා ඇති බවත් මේවන විට ඉල්ලා අස්වීමේ ලිපියක් භාරදී ඇතිබවත් අනාවරණය විය. මෙම නිලධාරියා සම්බන්ධයෙන් ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය. එසේම ආයතනයේ ප්‍රධානම තනතුරක් වන අධ්‍යක්ෂ ජනරාල් ධුරය සදහා වැඩබලන නිලධාරියෙකු කඩිනමින් පත්කරන ලෙසත් ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් දැනුම් දුන්නේය.

නව ගොඩනැගිල්ලක ස්ථානගතවීමට සති දෙකක කාලයක්
සේවකයන් 29 දෙනෙකු පමණක් සිටින ආයතනයකට මහල් 5කින් යුතු ගොඩනැගිල්ලක් රු.ලක්ෂ 12.5ක මුදලට ආ‍යතනයේ ප්‍රධාන කාර්යාලය ලෙස කුලියකට ගැනීම පිළිබදව සාකච්ඡා විය. 2017 වසරේදී කුලියට ලබා ගත් මෙම ගොඩනැගිල්ල සදහා ගෙවීම් සිදුකිරීම නාස්තියක් බව පෙන්වා දෙමින් අවස්ථා ගණනාවකදී කරුණු පෙන්වා දී ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය. එසේම මෙම ගිවිසුම් බදු කාලය 2023 වසරේ පෙබරවාරි මාසයෙන් අවසන්ව ඇති බවද හෙළි විය. ඒ අනුව සති දෙකක් තුළ මේ සම්බන්ධයෙන් ගන්නා තීන්දු පිළිබද වාර්තා කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි.

පුහුණු පාඨමාලා පැවැත්වීම පෞද්ගලික ආයතන වෙත පවරා තිබීම
මෙම ආයතනය භාෂා පුහුණු පාඨමාලා පැවැත්වී‍ම පෞද්ගලික ආයතනවලට පවරාදීම පිළිබදව අවධානය යොමුවිය. රජයේ නිලධාරින්ට භාෂාවන් සම්බන්ධ ප්‍රවිණතාව ලබා ගැනීම අනිවාර්ය කර ඇති පසුබිමක මෙම ආයතනය පාඨමාලා පැවැත්වීමෙන් ලැබෙන ආදායමෙන් ආයතනයට 15%ක් පමණක් ලැබෙන බව ද හෙළිවිය. මෙහිදී විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේ මේ හරහා පාඨමාලාවල ගුණාත්මක බව ඇතුළු කරුණු පිළිබදවද ගැටලු මතුවන බවයි. එබැවින් මේ පිළිබදව අමාත්‍යාංශය සමග එක්ව තීරණයක් ගන්නා ලෙසත් ගනු ලබන ක්‍රියාමාර්ග වාර්තා කරන ලෙසත් දැනුම් දුන්නේය.

අමාත්‍යාංශයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම
විවිධ අමාත්‍යාංශ යටතේ අවස්ථා ගණනාවකදී පැවති මෙම ආයතනයේ පරිපාලනය කෙරෙහි අමාත්‍යාංශයේ මැදිහත්වීම මීට වඩා සිදුවිය යුතු බව කමිටු සභාපතිවරයා අවධාරණ‍ය කළේය. මේ අනුව ආයතනය අමාත්‍යාංශයට පරිබාහිරව කටයුතු කරන්නේ නම් ලැබී ඇති බලතල අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි.

මීට අමතරව ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ගෙන් බැහැරව 2019 වසරේදී ගුවන්විදුලි වැඩසටහනක් සදහා රු. මිලියන 15ක් සහ රූපවාහිනි වැඩසටහනක් වෙනුවෙන් රු. මිලියන 4ක් වැය කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුවිය. මේ පිළිබද ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද සති දෙකක් තුළ වාර්තා කරන ලෙස ද අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදීම සිදුවිය.

එසේම මෙහිදී අදහස් දක්වමින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සභාපතිවරයා පවසා සිටියේ මේ වන විට ස්වයංව යැපීමට හැකි පරිදි ආයතනය වර්ධනය වූ බවත් රු. මිලියන 162ක මුදල් තැන්පතුවක්ද කිරීමට හැකියාව ලැබූ බවයි.

මේ අනුව කෝප් කමිටුවෙන් ලබා දුන් නිර්දේශවල ප්‍රගතිය විමසීම සදහා මෙම ආයතනය නැවත මාස හයකින් කැදවීමට ද මෙහිදී තීරණය විය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නිමල් ලන්සා, නලීන් බණ්ඩාර ජයමහ, එස්.එම්. මරික්කාර්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, (නීතිඥ) මධුර විතානගේ සහ (මහාචාර්ය) චරිත හේරත් යන මහත්වරු සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT