Sunday, April 20, 2025
Home » මජර ජීවිත පෝෂණය කරන්න මුදල් වැය කළ අය විනයක් ඇති කණ්ඩායමක් හදන්නේ කොහොමද‍?

මජර ජීවිත පෝෂණය කරන්න මුදල් වැය කළ අය විනයක් ඇති කණ්ඩායමක් හදන්නේ කොහොමද‍?

by mahesh
August 25, 2023 1:00 am 0 comment

තම මජර ජීවිත පෝෂණය කිරීමට විවිධාකාරයෙන් මුදල් වැය කර ඇති ක්‍රිකට් පාලක මණ්ඩලයක් යටතේ විනයක් සහිත ක්‍රිකට් කණ්ඩායමක් පවත්වාගෙන යා හැකිද යන ප්‍රශ්නය මතු වන බව ජාතික ජනබලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන් ඕස්ට්‍රේලිවේදී පැවැති ක්‍රිකට් තරගයක් නැරඹීමට මේ සා සුවිශාල ධනයක් වැය කර ඇත් නම් සමස්ත පාලක මණ්ඩලයේ කටයුතු විගණනයට ලක් කළ හොත් ප්‍රතිඵලය කෙසේ වනු ඇත්දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවැති සභාව කල් තබන විවාදයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය:

“මෙතැන ප්‍රශ්නය අප කවුරුත් දන්නවා. අපට විශාල ජයග්‍රහණ නැති රටක්. අපට ජාත්‍යන්තර වශයෙන් සතුටු විය හැකි ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් අරන් දුන්නේ ක්‍රිකට් ක්‍රීඩාව. තරුණ පරම්පරාවත් පොදු ජනතාවත් එක්ක ඉතා සමීප සංස්කෘතික සම්බන්ධයක් ක්‍රිකට් සමඟ තිබෙනවා. හැබැයි පහුගිය කාලයේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට අත් වී තිබෙන ඉරණම පිළිබඳ කවුරුත් සතුටු වෙන්නේ නැහැ. ඊළඟට ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳ බරපතළ චෝදනා එල්ල වෙනවා. ඒවා පාලනය කරන්ඩ ඕනෑ කවුද? ඒ විනය ආදර්ශය පාලක මණ්ඩලය ඒ විනය හදන්න ඕනෑ. හැබැයි පාලක මණ්ඩලයේ හැසිරීම මෙහෙම නම් ඔවුන් විසින් හසුරුවනු ලබන දරුවන්ට කුමක් වෙයිද? එක සංචාරයක් මෙහෙම නම් සමස්ත පාලක මණ්ඩලයේ විගනණය කොහොම වෙයිද? මෙතන මිලියන 60කට වඩා වැඩි ප්‍රමාණයක් වැය කර තිබෙනවා. කුමකටද? බැට් එකක්, බෝලයක් මිල දී ගැනීමට නම් කමක් නෑ. තමන්ගේ මජර ජීවිත පෝෂණය කිරීමට. මෙවැනි පිරිසකට පුළුවන්ද තරුණ කණ්ඩායමකට නායකත්වය දෙන්න. ඒ විතරක් නෙමෙයි ලංකාවට ඇවිත් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආණ්ඩුවට අයිති නෑ කියලා. මේක ශ්‍රී ලංකාවේ ක්‍රිකට්. ඕනැ නම් ජයන්ත ධර්මදාසටයි ෂම්මි සිල්වාටයි පුළුවන් ‘ජයන්ත ෂම්මි ක්‍රිකට්‘ කියලා ආයතනයක් වෙනම හදාගන්න. ඒක වෙනම දෙයක්.“

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT