Home » බලධාරින්ගේ විනය නැතිව ක්‍රීඩාව දියුණු කරන්න බැහැ
ක්‍රිකට් ක්‍රීඩාව දූෂිතයන්ගේ තිප්පොළක් කරන්න ඉඩ දෙන්නේ නෑ

බලධාරින්ගේ විනය නැතිව ක්‍රීඩාව දියුණු කරන්න බැහැ

by mahesh
August 25, 2023 1:00 am 0 comment

ක්‍රිකට් බලධාරින්ගේ විනය නොමැතිව ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ නොහැකි බවත් ක්‍රිකට් ක්‍රීඩාව දූෂිතයන්ගේ තිප්පොළක් බවට පත් කරන්නට ඉඩ නොතබන බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අැමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කෙළේය.

අැමැති රොෂාන් රණසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අැමැති රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය.

ක්‍රිකට් ඇතුළු සියලු ක්‍රීඩාවන් විධිමත් විය යුතුයි. ක්‍රිකට් බලධාරින්ට හෝ වෙනත් ක්‍රීඩා සංගම්වල බලධාරින් නිවැරැදි ලෙස කටයුතු කළ යුතුයි. කවුරු වුව ද සිදු කරන වැරදිවලට දඬුවම් ලැබිය යුතුයි.

ක්‍රීඩා අැමැතිවරයා ලෙස කිසිවකුගේ බලපෑම්වලට යට වන්නේ නෑ.ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සම්බන්ධයෙන් විගණන වාර්තාව අනුව කටයුතු කිරීමට සිදු වෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අභිමානයක් ඇති කළේ දිවංගත ගාමිණි දිසානායක මහතා. ඒ වගේම ක්‍රීඩාව හා බැඳුණු සුවිශේෂි චරිත ගණනාවක් ඉන්නවා. ගාමිණි දිසානායක, අර්ජුන රණතුංග, ආනා පුංචිහේවා වගේ බොහෝ පිරිසක් අපට මතක් වෙනවා. මම ක්‍රීඩා ඇමැතිවරයා ලෙස ක්‍රීඩාව වෙනුවෙන් සිදු කළ දේවල් කියන්නේ නැහැ.ඒක මේ රටේ ජනතාව දන්නවා. ක්‍රීඩාව විධිමත් කිරීම වෙනුවෙන් කළ හැකි දේවල් මම ඉටු කළා. ක්‍රීඩා සංගම් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම මෙන්ම තවත් කරුණු ගණනාවක් ඇති කළා. සමහර සංගම් දිස්ත්‍රීක් මට්ටමින් තිබෙනවා. නමුත් සමහර පාසල්වල දරුවො රගර් බෝලයක්වත් දැකලා නැහැ.ඒ වගේම ක්‍රිඩාවලට මෙන්ම ක්‍රීඩා සංගම්වලට අදාළ වන පරිදි විධිමත් විගණන ක්‍රියාවලිය වෙනු‍වෙන් අවශ්‍ය වටපිටාවක් සකස් කරනවා.

නව ක්‍රීඩා පනතක් ගෙන ඒම වෙනුවෙන් මූලික දේවල් මම ඉටුකළා. ක්‍රීඩාවන් ගමට යා යුතුයි. නමුත් පාලකයින්ගේ , දූෂිතයින්ගෙ ක්‍රියා කලාපයන් නිසා පාපන්දු ක්‍රීඩාවත් අද අර්බුදයක. කරන්න ඕනෑ ඔක්කොම තක්කඩිකම් කරලා සල්ලි ටිකත් සුද්ද කරලා ඉන්නවා ජොලියේ. මේවා නතර ‍ වෙන්න ඕනෑ.දේශපාලකයා පරමාදර්ශි විය යුතුයි. සමහරු මෙතන කතා කරනවා , ඔක්කොම හොඳයි වගේ. හොදනම් මෙතන විවාදයක් කරන්න ඕනෑ නැහැනේ. වැරදි නැත්තම් විවේචන එන්නේ නැහැ. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපතිවරයා මම සමඟ ඉඳීවි කියා මම විශ්වාස කරනවා. එතුමා අවංකව මට සහයෝගය දෙයි කියන විශ්වාසය මට තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු සියලුම දෙනා පාහේ මට විශාල සහයෝගයක් ලබා දෙනවා. ක්‍රීඩා පනත 225 දෙනාම අත ඔසවන ඓතිහාසික පනතක් වෙයි. මේක පොදු ප්‍රශ්නයක්. පක්ෂ විපක්ෂ ප්‍රශ්නයක් නොවෙයි. ක්‍රිකට් ආයතනය හා අනෙකුත් ආයතන නිවැරැදි මාර්ගයේ යා යුතුයි. සිදු කර තිබෙන දේවල් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න වෙයි. හෙට අනිද්දට විගණන වාර්තාව එනවා. පෙර වැරැදි සම්බන්ධයෙන් මට මොනවත් කියන්න බැහැ. අදින් ඉදිරියට හරි නිවැරැදි ලෙස යන්න. සෑම ක්‍රීඩා සංගමයකින්ම මම ඉල්ලා සිටින්නේ පුද්ගලික අභිලාෂයන් පසෙකලා ක්‍රීඩාව දියුණු කිරිම වෙනු­‍වෙන් මැදිහත් වන ලෙසයි. එහෙම නැත්තම් ජාත්‍යන්තර සංගම් තහනම් කළා කියල නම් බය වෙන්නේ නැහැ. වැරැදි කරනවා නම් අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නවා. රග්බි සභාපති ඉවත් කළා. හරියට යන්නේ නැත්තම් නැවත විසුරුවනවා. 210 වැනියාට ගහන්න මේක ඇරියා කියලා වැඩක් නැහැනේ .යට වෙන්නේ නැහැ. මම හිතාමතා පාපන්දු ක්‍රීඩාව තහනම් කර ගත්තේ නැහැ. ඇතැම් අයට විශාල වශයෙන් මුදල් ලැබෙනවා. නමුත් පාපන්දු ක්‍රීඩකයෙක් ත්‍රීවිලර් එළවනවා. තව කෙනෙක් බයිසිකල් අලුත්වැඩියා කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT