අපේ ඊළඟ ඉලක්කය මිලියන 500ක ආදායමක්
මේ වසරේ ගත වූ මුල් මාස 7 තුළ පමණක් මැණික් අපනයනය කිරීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 312ක ආදායමක් උපයා ගැනීමට සමත් වූ බවත්, මේ වසර අවසන් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී විරාජ් ද සිල්වා මහතා පැවසීය.
මැණික් අපනයනය කිරීමෙන් 2025 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 02ක වාර්ෂික ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ඩොලර් බිලියන 02ක ඉලක්කය සපුරා ගැනීමට ප්‍රධාන බාධකය වී ඇති නීතිවිරෝධී ලෙස මැණික් රටින් පිට කිරීම නැවැත්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව, විදේශිය ගැණුම්කරුවන්ට සෘජුවම මෙරට වෙන්දේසියෙන් මැණික් මිලට ගැනීමට හැකියාව ලබාදීමට අවශ්‍ය පියවර නුදුරේදීම ගන්නා බවත් විරාජ් ද සිල්වා මහතා පැවසීය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘වන් ඕ වන් කතා’ වැඩසටහනට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් විරාජ් ද සිල්වා මහතා මෙසේ ද සඳහන් කළේය.
රටට හැකි තරම් විදේශ විනිමය ගෙන ඒම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද විවිධ ප්‍රවර්ධන වැඩසටහන් කරනවා. අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල හයක් රට පුරා තිබෙනවා. මේ කාර්යාල හරහා අධීක්ෂණ කටයුතු සිදු වෙනවා. පතලකින් මැණික් ගලක් හමු වුවහොත් ඔවුන්ට අවශ්‍ය ලෙස එය අලෙවි කරන්න බැහැ. රටේ නීතිය අනුව එය ප්‍රසිද්ධ වෙන්දේසියක අලෙවි කළ යුතුයි. මැණික් ගලක් අලෙවි කිරීමෙන් පසු ලැබෙන මුදලින් 2.5%ක මුදලක් රජයට හිමි වෙනවා. මෑත දිනයකදී කෝටි 40ක මැණික් ගලක් අළෙවි කළා.
මේ දිනවල කැණීම් කටයුතුවල ද වර්ධනයක් දක්නට ලැබෙනවා. මැණික් ගල්වලට ලැබෙන මුදල මේ වන විට වැඩි වී තිබෙනවා. මැණික් පතල් පවත්වාගෙන යාමේදී යම් යම් කොන්දේසි පනවා තිබෙනවා. අයථා විදිහට මැණික් පතල් පවත්වාගෙන යනවා නම් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට සිදු වෙනවා. මැණික් ගලක් සාමාන්‍ය පරිදි අපනයනය කරන්න බැහැ. ඒ වගේම මැණික් ගලක් සොයා ගැනීමෙන් පසු එය වෙන්දේසි කළ යුත්තේ එය ඔප දමා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතිය යටතේයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතියකින් තොරව සිදුවන මෙම කටයුතු පිළිබඳ සොයා බැලීමට මේ වන විට අධ්‍යයනයක් සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම මේ සම්බන්ධව සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද උපදෙස් දී තිබෙනවා.
මේ වසරේ ජනවාරි සිට ජූලි මස දක්වා පමණක් මැණික් අපනයනය කිරීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 312ක ආදායමක් උපයාගෙන තිබෙනවා. නමුත් අපට මීට වඩා මුදලක් සොයා ගැනීමේ හැකියාව පවතිනවා. අනිකුත් ක්ෂේත්‍ර සැසඳීමේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අපනයන 34%ක ඉහළ වර්ධන වේගයක් අත්පත් කරගෙන තිබෙනවා. තේ, ඇඟලුම් ක්ෂේත්‍ර අභිබවා ගොස් අප අධිකාරිය එම වර්ධන වේගය අත්පත් කර ගෙන තිබෙන බව කිව යුතුයි. මේ බව මහ බැංකු වාර්තා අනුව ද පෙන්වා දී තිබෙනවා.
මෙලෙස හමු වන මැණික් රටේ සමස්ත ජනතාවටම අයිති දෙයක්.එහි නිසි වටිනාකම රටට ලැබිය යුතුයි. මේ අසීරු තත්ත්වයෙන් රට මුදා ගැනීමට එය මනා පිටිවහලක් වන බව අප විශ්වාස කරනවා.
සාමාන්‍යයෙන් මැණික් අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2ක වාර්ෂික ආදායමක් ලබා ගත හැකියි. ශ්‍රී ලංකාව මැණික් අලෙවි කිරීමේ විවෘත වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතුයි. එවැනි විශාල වැඩ කොටසක් දැනටමත් අප කරගෙන යනවා. ඒ අනුව මේ වසර අවසන් වන විට මැණික් කර්මාන්තයෙන් ඩොලර් මිලියන 500ක ආදායමක් ගැනීමට අපේක්ෂා කරනවා. මේ කටයුතු සඳහා රටේ සිටින අපනයනකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නංවාගත යුතුව තිබෙනවා. මැණික් අපනයන ක්‍රියාවලිය පුළුල් කිරීමට අප මේ වන විට වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ගැනුම්කරුවන් සොයා ගැනීමත්, නව වෙළෙඳ පොළ සොයා ගැනීමත් අපේ අරමුණ වෙලා තිබෙනවා. මැණික් කර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මේ සඳහා සම්බන්ධ විය හැකියි.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීමටත් අප පියවර ගෙන තිබෙනවා. නිලධාරියෙක් එකම තැනක වසර ගණනාවක් සේවය කරන විට මුදල් අක්‍රමිකතා සිදුවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කර විධිමත් ස්ථාන මාරු ප්‍රතිපත්තියක් හරහා අප එයට විසඳුම් ලබා දී තිබෙනවා. ඒ වගේම ගිණුම් මෘදුකාංග ආයතනයට හඳුන්වාදීමට කටයුතු කර තිබීම නිසා කිසිදු මූල්‍ය වංචාවකට ඉඩක් නැහැ. අප කාර්යාලයට පැමිණ තමන්ගේ රන් භාණ්ඩවල ප්‍රමිතිය සොයා බැලීමට ඕනෑම කෙනෙකුට හැකියාව තිබෙනවා.මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ලබාදෙන සහතිකය තමන්ගේ රන් භාණ්ඩවලට ඉහළ වටිනාකමක් දෙනවා.