Monday, April 21, 2025
Home » බඩඉරිඟු ආනයන බද්ද අඩු කිරීම නිසා ඉදිරියේදී කුකුළු මස් මිල අඩු කිරීමට පියවර ගන්නවා

බඩඉරිඟු ආනයන බද්ද අඩු කිරීම නිසා ඉදිරියේදී කුකුළු මස් මිල අඩු කිරීමට පියවර ගන්නවා

දේශීය කුකුළු කර්මාන්තකරුවන් එකඟ වූ බව ඇමැති අමරවීර කියයි

by mahesh
August 25, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

රජය බඩඉරිඟු ආනයන බද්ද රුපියල් 75 සිට රුපියල් 25 දක්වා( කිලෝග්‍රෑම් 01කට) පහත දැමීමේ වාසිය සැලකිල්ලට ගෙන ඉදිරි කාලයේ කුකුළු මස් කිලෝග්‍රෑම් 01ක මිල රුපියල් 100කින් අඩු කිරීමටත්, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩිවන අවස්ථාවන්හිදී එම වාසියත් පාරිභෝගිකයන්ට ලබාදීමට දේශීය කුකුළු කර්මාන්තකරුවන්ට එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

මේ අනයනික බදු සහනය දේශීය කුකුළු කර්මාන්තකරුවන්ට සහ පාරිභෝගිකයන්ට හිමිවීම තුළ ඉදිරියේදී කුකුළු මස් හා බිත්තර මිල අඩු වීම සිදු වන මුත් බඩඉරිඟු ආනයනය කිරීමට එරෙහිව කතා කරන විපක්ෂයේ සමහරු කුකුළු මස් හා බිත්තර ආනයනය කරන ව්‍යාපාරිකයින්ගේ උගුලට හසු වී කටයුතු කරන බව ද අමරවීර මහතා කීය.

මේ වනවිට අප රටේ වාර්ෂික ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය කිලෝග්‍රෑම් 11 දක්වාත්, වාර්ෂික ඒක පුද්ගල බිත්තර පරිභෝජනය 138 දක්වාත් ඉහළ ගොස් තිබේ. ඒක පුද්ගල ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් බහුතරයක් කුකුළු මස් හා බිත්තර මඟින් ලබා ගන්නා අතර පසුගිය දිනවල කුකුළු මස් මිල ඉහළ යාම මෙරට කුකුළු මස් පරිභෝජනය අඩුවීමට හේතුවිය. එම නිසා කුකුළු පාලනයට අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු ආනයනය කිරීමට රජය තීරණය කරන ලදී. ඒ අනුව බඩඉරිඟු සඳහා ආනයනික බද්ද රුපියල් රුපියල් 75 සිට රුපියල් 25 දක්වා අඩු කරනු ලැබීය. රජය මෙම තීරණය ගනු ලැබු‍වේ දේශිය කුකුළු කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා ය. එම ආනයනික බදු අඩු නොකළේ නම්, කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් ඉහළයෑමට ඉඩ තිබිණි. නමුත් රජය ගත් වැඩපිළිවෙළ විපක්ෂයේ සමහරු විවේචනය කරමින් රජයට චෝදනා නැඟීම පදනම් විරහිත බව ඇමැතිවරයා කීය.විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කුකුළු මස් හා බිත්තර මෙරටට ආනයනය කිරීමට බලාගෙන සිටින ඇතැම් ව්‍යාපාරිකයින්ගේ ඕනෑ එපාකම් ඉටු කරමින් සිටින බවත් අමරවීර මහතා අවධාරණය කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉහළ වෙල්ගම ,ප්‍රමුඛ පෙළේ පුද්ගලික ආයතනයක් විසින් Grand Parent (මව් සතුන්) කුකුළු ගොවිපළක් විවෘත කිරීමට සහභාගීවෙමින් ඊයේ (24)ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT